2022 උ/පෙළ විභාගය ජනවාරි 23 සිට..

2022 උ/පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා..

by Staff writer 18-01-2023 | 10:17 PM

COLOMBO ( News 1st ) - 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා අද (18) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.


විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා

"අපට විදුලි බලය අවශ්‍ය වෙනවා මේ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව මේ විභාගය පැවැත්වීම සඳහා.  අපි ඒ ආයතන වලින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට යහපත් ප්‍රතිචාර ලැබිල තියෙනවා. අපි විශ්වාස කරනවා මේ 23 වැනිදා සිට  පෙබරවාරි 17 වැනිදා දක්වා  අපිට ඒ සහය ලැබෙයි කියලා, මේ දරුවන්ගේ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා. පාසල් අපේක්ෂකයින්ට මේ ප්‍රවේශපත්‍ර අපි විදුහල්පතිවරුන්ට නිකුත් කරලා තියෙන්නේ. විදුහල්පතිවරුන්ට තැපැල් මගින් නිකුත් කරලා තියෙනවා. පෞද්ගලික අපේක්ෂකයන්ට ඒ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ලිපිනයන් වලට මේ ප්‍රවේශපත්‍ර නිකුත් කරලා තියෙනවා. දෝෂයක් තියෙනවා නම්, ඒක සකස් කර ගැනීමේ අවශ්‍ය ක්‍රමවේදයත් අපි සකස් කරලා තියෙනවා. මාර්ගගත ආකාරයටම ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීමේ  පහසුකම අපි ලබා දීලා තියෙනවා. පාසල් අපේක්ෂකයෙක් නම්, මේ කටයුත්ත විදුහල්පති මගින් කර ගන්නට ඕන..''