.webp)
මෙම විරෝධතාව අද(16) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරුත් සමග ශ්‍රී ලංකා පොලීසිය සහ කැරලි මර්දන නිලධාරීන් ඇතුළු පිරිසක් ලිප්ටන් වටරවුමට රැස්විය.
කෙසේ වෙතත් විරෝධතාව ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටදී ය.
ත්‍රස්ත පනතින් අද වන විට දින 150ක් තිස්සේ සිරකර සිටින වසන්ත මුදලිගේ මහතා වහා නිදහස් කිරීම, විදුලිය, තෙල් ගෑස් මිල පහත හෙළීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම හා ශිෂ්‍ය නායක දඩයම නවත්වා අත්අඩංගුවට ගෙන සිටින සියලු සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම විරෝධතාවට එක්ව සිටියහ.
විරෝධතාවය පැවැත්වුනු එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටටත් පොලිස් කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ජල විහිදුම් රථ පැමිණ තිබුණි.
විරෝධතාවය අතරතුර සිවිල් ජනතාව ද විරෝධතාකරුවන්ට අවශ්‍ය පානීය ජල බෝතල් ලබාදෙමින් සහාය පළ කළේ ය.
පැය භාගයකට ආසන්න කාලයක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයේ නියැලුනු විරෝධතාකරුවන් පසුව පාගමනින් ගාලු පාර ඔස්සේ ගමන් කිරීම ආරම්භ කළේ ය.
විරෝධතාකරුවන් පාගමනින් කොල්ලුපිටිය මංසන්ධියට පැමිණෙන විට, පොලිසිය හා කැරලි මර්දන ඒකකය කදුළු ගෑස් හා ජල ප්‍රහාරක රථ සමග ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ සිටි අතර එහිදී පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රකාශයට පත් කළේ ය.
කෙසේ වෙතත් පිරිස විසිර ගියේ නැත. පසුව පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ගාලු මුවදොර දෙසින් විරෝධතාකරුවන් සිටින දෙසට ගමන් කිරීම ආරම්භ කළේ ය.
පසුව පිරිස එම ස්ථානයෙන් පසුබැස සිරිකොත මාවත හා සාන්ත අන්තෝනි මාවත ඔස්සේ මැරින් ඩ්‍රයිව් මාර්ගයට පැමිණ යළි විරෝධතාවයේ නියැලුණි.
පොලිස් නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් මැරීන් ඩ්‍රයිව් පෙදෙසට පැමිණි විගස විරෝධතාකරුවෝ යළිත් ගාලු පාර දෙසට පා ගමනින් ගමන් කරමින් සිය විරෝධය පළ කළහ.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කොල්ලුපිටිය මංසන්ධියේදී ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ජල හා කදුළු ගෑස් ප්‍රහාර හමුවේ විසුරුණු විරෝධතාකරුවන් යළිත් සාන්ත අන්තෝනි මාවත ඔස්සේ නෙළුම් පොකුන රගහල දෙසින් සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිටට පැමිණියේ ය.
පසුව විරෝධතාකරුවන් එම ස්ථානයේදී යළිත් විරෝධතාව ආරම්භ කළ අතර එම ස්ථානයට පැමිණි පොලිසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් යළිත් වරක් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ පිරිස විසුරුවා හැරීමටයි.
මෙහිදී විරෝධතාවයේ නියැලුනු විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්විය.
විරෝධතාකරුවන් පසුකර පොලිස් ජල ප්‍රහාරක රථ ගමන් කිරීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
විරෝධතාකරුවන් සෞන්දර්ය විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වූ අතර කැරලි මර්දන සහ පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී දැඩි වර්ෂාව මැද ඊටත් විරෝධය පළ විය.
අනතුරුව පිරිස විසිර ගියහ.