ඇප මුදල් භාර නොගන්නැයි කළ නියෝගය යළි කැඳවයි

මැතිවරණයට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට කළ නියෝගය යළි කැඳවයි

by Staff writer 11-01-2023 | 6:45 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත තමන් සිදු කළ නියෝගය ආපසු කැඳවූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බවයි.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඊයේ (10) අදාළ නියෝගය නිකුත් කළේ ය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් නියෝග කළේ, ඇප මුදල් භාර ගැනීම සිදු කළ යුතු බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් එක් එක් දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ලෙස පත්කර ඇති බැවින් අදාළ ඇප මුදල් භාර ගත යුතු බව එම උපදෙස් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ද අද (11) පෙරවරුවේ රැස්වන අතර එහිදී මේ සම්බන්ධයෙන් ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.