"රාජ්‍ය සේවක වැටුප් ගැන බයවෙන්න එපා"

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක, ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙයි..

by Staff writer 10-01-2023 | 7:30 PM

COLOMBO (News 1st) - මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේ ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

සුබසාධන ගෙවීම් පිළිබඳව කැබිනට් ප්‍රකාශකවරයා එලෙස අදහස් පළ කළ ද රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවය.

එමෙන්ම මේ වන විට රජයෙන් යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට ඇති බිල්පත් පියවීම සඳහා ක්‍රමවත් හා අදියරයන් වශයෙන් වැඩපිළිවෙළක සැකසීම පිළිබඳව අදාළ අමාත්‍යංශය සමග සාකච්ඡා සිදුකරමින් සිටින රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.


කෙසේ වෙතත් අද(10) පෙරවරුවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණි විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවයට පත්විය.

ඒ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බැර වන මුදල් ඇතැම් බැංකු සඳහා අද දහවල් වන තෙක් නොලැබීම හේතුවෙනි.