කංජිපානිගේ, ඇපකරුවන් අධිකරණය හමුවට?

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

by Staff writer 04-01-2023 | 1:07 PM

COLOMBO (News 1st) – ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනුවෙන් අධිකරණය හමුවේදී  ඇප බැඳුම්කරවලට අත්සන් තැබු පුද්ගලයින් තිදෙනෙකුට වහාම අධිකරණය හමුවේ පෙනී  සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (04) නියෝග කළේ ය.

ඒ,පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම නැමැති චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක් අද (04) කැඳවූ අවස්ථාවේද ය. 

අද (04) කංජිපානි ඉම්රාන් නමැත්තා හෝ ඔහුගේ ඇපකරුවෝ අධිකරණයේ පෙනී නොසිටියහ.

මේ හේතුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඇපකරුවන් තිදෙනා වහාම තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගකර තිබේ.

කංජිපානි ඉම්රාන් නමැත්තා කොළඹ මහාධිකරණය විසින් කළ නියෝගය අනුව ඇප බැඳූම්කරවලට යටත්ව ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මින් පෙර නියම කොට තිබුණි.

කංජිපානි ඉම්රාන් නැමැත්තාට එරෙහිව විවිධ චෝදනා යටතේ, එනම් මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරිම ඒ සඳහා ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු කිහිපයක් පවතින බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට දැනුම්දෙනු ලැබී ය.

එලෙස ඇප මත මුදා හරිනු ලැබු කංජිපානි ඉම්රාන් නමැත්තා මේ වනවිට රහසිගතව විදේශ ගතවී ඇති බවට තොරතුරු ලැබී  ඇති බවත්,කොළඹ අපරාධ කොට්ඨාසය එහිදි අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.