උපකුලපතිට පහර දීමට අදාළ සිසුන් යළි රිමාන්ඩ්..

හිටපු උපකුලපතිට පහරදීම: අත්අඩංගුවට ගත් සිසුන් යළි රිමාන්ඩ්....

by Staff writer 22-12-2022 | 5:19 PM

COLOMBO ( News 1 st ) - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ පුත්‍රයාට පහරදීම, සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, අනුරුද්ධ විතානගේ මහතා  වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පේරාදෙනිය ප්‍රධාන මහේස්ත්‍රාත් සේනිත් විජේසේකර මහතා  අද(22) නියෝග කළේ ය.

ඒ, ඔහු නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරමිනි.

නඩුව පවරා ඇත්තේ,නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වී අදාළ පහරදීම සිදුකිරීම හා පොදු දේපොළ වලට අලාභ හානි කිරීම යන චෝදනා යටතේයි.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා අද(22) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ඔවුන් අතරින් 06 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව සැකකාර සිසුන් ලබන ජනවාරී 4 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේ ය.

සැකකාර සිසුන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින්නැයි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සේනානායක මහතා  ඇතුළු නීතිඥ මණ්ඩලය ඉල්ලා සිටි අතර අගතියට පත් මහාචාර්යවරයා සහ විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ, චමින්ද අතුකෝරල මහතා  ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඊට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කළහ.