ශාෆ්ටර් ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්තට යාමට පෙර ගිය තැනක් ගැන හෙළිදරව්වක්..

by Staff writer 20-12-2022 | 10:01 PM

COLOMBO (News 1st) - ජනාකීර්ණ කොළඹ නගරයේදී කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වනවිට දින පහක් ඉක්මවා තිබේ.

මේ අපරාධය තවමත් අබිරහසකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(19) දිනයේ ප්‍රකාශ 08 ක් සටහන් කරගෙන තිබේ.

ප්‍රකාශ ලබාගත් පිරිස අතර ශාෆ්ටර් මහතාගේ බිරිඳ වන ටානි ශාෆ්ටර් මහත්මියද වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ බිරිඳ විසින් කරන ලද දැනුම්දීම අනුව බොරැල්ල සුසාන භූමියට ගිය විධායක නිලධාරී ක්‍රිෂ් පෙරේරා මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා

"දීර්ඝ විමර්ශනයක් පැය 24 තුළම ක්‍රියාත්මක වෙනවා. විමර්ශනය පැතිකඩ කිහිපයක් ඔස්සේ යනවා. පැති කිහිපයක් අපි සැකකරලා කටයුතු කරනවා. කිසිම පුද්ගලයෙක් අපි සැකකරලා නැහැ සුවිශේෂි සැකයක් ඇතිකරගෙන නැහැ. සැකයක් තිබුනත් චෝදනාවක් විදිහට විමර්ශන නිලධාරීන් විසින් චෝදනාවක් එල්ලකරන තත්ත්වයට මේ විමර්ශනය තවමත් අවසන් වෙලා නැහැ."

මෙතෙක් සිදුකල විමර්ශන අනුව දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වූ අවස්ථාවේ සිද්ධි පෙලගැස්මක් අනාවරණය වී තිබේ.

ඔහු මෙම අපරාධය සිදුවූ දිනයේ කොළඹ මල් පාරේ පිහිටි තම නිවසින් පිටව ගොස් ඇත්තේ පස්වරු 1.55ට යි.

මේ අතරතුර ශාෆ්ටර් මහතා කොළඹ, මලලසේකර මාවතේ පිහිටි අවන්හලකට ගොස් කෙටි ආහාර මිලදී ගෙන ඇතැයිද විමර්ශනයේදී අනාරණය වී තිබේ.

ඔහුගේ බිරිඳ ටානි ශාෆ්ටර් මහත්මිය සිය සැමියාගේ දුරථකනයට වට්ස්ඇප් පණිවියක් යවමින් දැන්ම නැවත පැමිණනවාදැයි විමසා ඇත්තේ පස්වරු 2.15ට පමණ ය.

මේ අතර පස්වරු 2.42ට දිනේෂ් ශාෆ්ටර් මහතාගෙන් වට්ස්ඇප් පණිවිඩයක් ලැබුණු බව බ්‍රයන් තෝමස් මහතා අනාවරණය කර තිබේ.

එහි සඳහන්ව තිබුණේ ඔබ පැමිණෙන තුරු මම බලා සිටිනවා යන අදහසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රයන් තෝමස් මහතා, 

"මට තේරෙන්නේ නෑ ඔයා මොකක්ද කියන්නේ කියලා
මට ඔයා හම්බවෙන්න හේතුවක් නෑ ඔයා දන්නවා දෙසැම්බර් 24 ඔයා මට මොකක්ද කළේ කියලා"

යනුවෙන් දැනුම්දී තිබිණ.

පස්වරු 2.43ට නැවතත් ශාෆ්ටර් මහතා "ඔයා කිව්ව විදිහට මම මැසේජ් ඔක්කොම ඩිලීට් කළා" යනුවෙන් තවත් වට්සැප් පණිවිඩයක් තමන් වෙත යොමු කළ බව බ්‍රයන් තෝමස් මහතා හෙලිකර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් තෝමස් මහතා ශාෆ්ටර් මහතාට නැවතත් වට්ස්ඇප් පණිවිඩයක් යවා තිබේ.

ඔහු එම පණිවිඩයෙන් ශාෆ්ටර් මහතාගෙන් විමසා තිබුණේ "මම කවදද ඔයාට කිව්වේ මැසේජ් ඩිලීට් කරන්න කියලා" යනුවෙනු යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව පස්වරු 2.45 වනවිට දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත පිවිස අවසන් ය.

බ්‍රයන් තෝමස් මහතා පවසන්නේ, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දුරකතනයෙන් තමන්ට පණිවිඩ එව්වේ වෙනත් පුද්ගලයෙකු බවට සැකකරන බවයි.

කලක් තමන්ගේ සමීප මිත්‍රයෙකු වූ ශාෆ්ටර් මහතාගේ ඉංග්‍රිසි භාෂා හැසිරවීම පිළිබඳව තමන්ට හොද අවබෝධයක් පවතින බවත් මෙම පණිවිඩ ඊට වඩා වෙනස් බවත් බ්‍රයන් තෝමස් මහතා සඳහන් කර තිබේ.

සිහිසුන් තත්ත්වයේ පසුවූ බව කියන දිනේෂ් ශාෆ්ටර් මහතා ක්‍රිශ් පෙරේරා මහතාට හමුවී ඇත්තේ පස්වරු 3.30 ට ආසන්න වේලාවකදීය.

පස්වරු 3.55 වනවිට ශාෆ්ටර් මහතා ඔහුගේ මෝටර් රථයෙන්ම රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහෙත් ඒ වනතුරු දිනේෂ් ශාෆ්ටර් මහතා ලක්ව තිබූ තත්ත්වයට පොලිසිය හෝ ටානි ශාෆ්ටර් මහත්මිය දැන සිටියේ නැත.

අතිශය ජනකීර්ණ කොළඹ නගරයේ බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංග්‍ය උස්සව 6ක් පැවැත්වෙන අතරතුර මේ කීර්තිමත් ව්‍යාපාරිකයා ඝාතනය විය හැකිද?

එසේත් නැතිනම් වෙනත් ස්ථානයකදී සිහිසුන් තත්ත්වයට පත්කර ඔහුව පොදු සුසාන භූමිය තුළ ගෙනවිත් දැමුවාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

"ඔහු ව්‍යාපාරිකයෙක් ඔහුගේ සම්බන්ධතා රාශියක් තියනවා. ඒ වගේම මෙම ඝාතනයේ යම් අභිරහස් බවක් තිබෙනවා සහ විමර්ශන නිලධාරීන් සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිසියේ සහය ඇතුවයි දැන් විමර්ශන කටයුතු කරන්නේ. කණ්ඩායම් රාශියක් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරියෙකුගේ නායකත්වයෙන් යුත් කුඩා කණ්ඩායම් රාශ්‍රියක් මේ සදහා වෙන්කරලා යොමුකරලා තියනවා."

ජනාකීර්ණ කොළඹ නගරයේ සිදුවූ මේ කීර්තිමත් ව්‍යාපාරිකයාගේ ඝාතනය පිටුපස ඇති අභිරහස කුමක් විය හැකිද?