.webp)
කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වළ මියගිය එළ හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ,උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක පහක ස්ථාන රැසක ගවයින් සහ එළුවන් මිය යාමේ සිද්ධීන් පිළිබදව අප ඊයේ(09) දිනයේදීත් වාර්තා කළ අතර මේ වන විට උතුරු පළාතේ එළ ගවයින් 358ක් මිය ගොස් ඇති බවත්, ගවයින් 352ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, එළුවන් 191ක් මිය ගොස් ඇති අතර 53ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
එමෙන්ම නැගෙනහිර පළාතෙන් පළාතෙන් වාර්තා වන එළ ගවයින් හා මී ගවයින් ප්‍රමාණය 478ක් වන අතර එම පළාතෙන් වාර්තා වන අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් ප්‍රමාණය 352කි.
එමෙන්ම එළුවන්ගේ මරණ ප්‍රමාණය 65ක් ලෙසද සඳහන් වේ.
මීට පෙරත් ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු නැගෙනහිර පළාතේ විවිධ ස්ථානවලින් වාර්තා වුණු ගවයින් මියයාමේ සිද්ධීන් පිළිබදව අප තොරතුරු වාර්තා කළ අතර නිවුස් ෆස්ට් කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස්, මෙම ප්රශ්නය පිළිබඳව සොයා බැලීමටත්, ඒවා බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමටත් කටයුතු කළ අතර, එම අවස්ථාවලදී වගකවයුතු පාර්ශව පැවසුවේ, ගවයින් මිය යාමේ සිද්ධි පිළීබදව සොයා බැලීමට කටයුතු කරන බවයි.
ගත වූ පැය කිහිපය තුළද නැගෙනහිර පළාතේ ස්ථාන රැසකින් ගවයින් මිය යාමේ සිද්ධීන් වාර්තා වන්නේ මෙවැනි පසුබිමකදීයි.
කෘෂිකර්ම වනජීව් හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසන්නේ, ඉන්දියාවට බලපෑ සුළි කුණාටුවත් සමග නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වූ තද ශීතල කාලගුණික තත්ත්වය දරාගැනිමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් හේතුවෙන් මියගියාද යන්න තහවුරු කරගැනීම සඳහා මරණයට පත් සියලු සතුන්ගේ සාම්පල පශු සම්පත් අංශය විසින් ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමු කර තිබේ.
කෙසේ වෙතත් මෙම සතුන්ගේ මස් පරිභෝජනයට හෝ ප්‍රවාහනයට, අලෙවියට ඉඩ නොතබන ලෙස දන්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්,ගුණදාස සමරසිංහ මහතා අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් මියයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් හා එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ.