තෙල් මිල පි⁣ටුපස අපි නොදන්න ප්‍රිමියම් කතාව..

by Staff writer 12-11-2022 | 8:49 PM

COLOMBO (News 1st) - ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල යළිත් ඉහළ දැමීය.

ලංකා සුදු ඩීසල් ලීටරයක් වැඩි කළ මිල රුපියල් 15 කි. 

මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 430 කටයි. 

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දැමූ අතර නව මිල රුපියල් 365 කි.

සිපෙට්කෝ මිල වැඩි කිරීමට සමගාමීව අයි.ඕ.සී සමාගම ද මිල ගණන් සංශෝධනය කළේ ය.

ඩීසල් සහ භූමිතෙල් මිල වැඩි කිරීම සෘජුවම බලපා ඇති ප්‍රධාන පාර්ශ්වයක් වන්නේ ධීවරයින් ය.

මේ මිල වැඩි කිරීම බස් ගාස්තුවට බලපායි ද?

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා,

කෙටි දුර බස් ධාවකයාට දෛනිකව රු 1500 ක පාඩුවක් අද දිනයේ සිට සිද්ධ වෙනවා. අන්තර් පළාත් බස් රථයකට රු 3000 ක පාඩුවක් අද සිට සිද්ධ වෙනවා. මේක කිසිසේත් දරාගන්න බෑ. මේ තත්ත්වයන් තුළ බස් ටිකට් එකේ මිල වැඩි කිරීමේ හැකියාවක් නෑ. හැබැයි නැවත වතාවක් ඩීසල් මිල වැඩි වුණොත් බස් ගාස්තු වැඩි කරනවා කියන එකත් වගකීමෙන් කියන්න ඕනි.

ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22 ක් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ප්‍රකාශ කළේ,  පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදීය.

ඛනිජතෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, මිල වැඩි කිරීම පිටුපස බරපතල ගනුදෙනු ඇති බවයි.

මොකක්ද මේ ප්‍රිමියම් කියන්නේ?

සරලවම කියනවා නම් මේක තමයි අතරමැදි ලාභය.

අන්තිමට ඛනිජතෙල් ඇමතිවරයාගේ ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කළ මේ ලියවිල්ලෙන් ඔක්තෝම්බර් 2 වැනි දා වනවිට ඛනිජතෙල් මිල නියම කරන ආකාරය පැහැදිලි කළේ ය.

මේ ලියවිල්ලේ භූමිතෙල් නැත.

නමුත් සුදු ඩීසල් ගැන අදහසක් ගන්න පුළුවනි.

අපි තෙල් මිලදී ගන්න ප්ලෙට්ස් කියන වෙළෙඳපොළේ ඒ වනවිට සුදු ඩීසල් බැරයක් ලබාගෙන තිබුණේ ඩොලර් 133 සත 6 කටයි.

ඒ වනවිට ප්‍රිමියම් ලෙස බැරලයකට ගෙවූ මුදල ඩොලර් 20 යි සත 2 කි.

සාමාන්‍යයෙන් මේ අගය ඩොලර් 5 ක් 6 ක් වගේ උපරිමයකට අයකරන්නේ.

ඒත් දැන් අපිට ඒ වගේ දෙතුන් ගුණයක් ගෙවන්න වී ඇත.

නැව් ගාස්තු, සැකසුම් ගාස්තු, බදු, ලාභය මේ සේරටම අමතරවයි මේ ඩොලර් විස්ස ඒ වෙනකොට ඩීසල් බැරලයකට ගෙව්වේ.

මේ මුදල කාටද යන්නේ?

මේක තමයි අතරමැදියන්ට යන ලාභය.

භූමිතෙල් තත්ත්වය ඊටත් වඩා බරපතලයි.

අපේ රටේ භූමිතෙල් නිෂ්පාදනය කළේ, සපුගස්කන්ද පිරිපහදුවෙනි.

බොරතෙල් නැහැ කියලා පිරිපහදුව වහලා දැම්මේ ඔක්තෝම්බර් 7 වෙනි දා.

පිරිපහදුවට ගෙනාව බොරතෙල් නැව දැන දවස් 54 ක් ප්‍රමාද ගාස්තු ගෙවමින් මුහුදේ තියාගෙන සිටි.

ප්‍රමාද ගාස්තු විතරක් මේ නැවට ගෙවන්න වෙලා තියෙවා රුපියල් කෝටි 275 කට අධික ප්‍රමාණයකි.

එහෙම තියෙද්දි දැන් කරන්නේ ගුවන්යානා තෙල් භූමිතෙල් ලෙස භාවිත කිරීම සදහා රටින් ගෙන්වනවා.

එක පැත්තකින් ඩොලර් නෑ කියන ගමන් තවත් පැත්තකින් විශාල මුදලක් ප්‍රිමියම් ලෙස ගෙවා දමා පිරිපහදුකල තෙල් ගෙන්වන අතරේ තවත් පැත්තකින් සල්ලි නෑ කියලා දැන දැන ගෙන්වපු බොරතෙල් නැවකට ප්‍රමාද ගාස්තු ගෙවනවා.

ජනතාවගේ සාක්කුවෙන් හූරාකන මේ සල්ලි යන්නේ කිහිප දෙනෙකුගේ සාක්කුවලට.

මේවා දැන්වත් නතර නොකළොත් අපේ රට අර්බුදයෙන් අර්බුදයට යන්න වැඩි කලක් ගතවෙන එකක් නැහැ.