ඔයාලම හදලා එයාලම වෙනස් කරන පළාත් පාලන ඡන්ද ක්‍රමය

by Staff writer 05-11-2022 | 7:49 PM

COLOMBO (News 1st) - 2017 වසරේදී එවක විපක්ෂයේ සිටි වත්මත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් ලබා දෙන නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් පාලන මැතිවරණ සමානුපාතික හා කොට්ඨාස ක්‍රමයට එනම් මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය.

2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණ පැවැත් වූයේ එම මිශ්‍ර ක්‍රමය යටතේයි.

මිශ්‍ර ක්‍රමය යටතේ තෝරා ගැණුන සභිකයින්හට අසුන් පැනවීමට ඇතැම් පළාත් පාලන ආයතනවල සභා රැස්වීම් ශාලා පුළුල් කරන්නට ද සිදු විය.

මිශ්‍ර ක්‍රමයේ ප්‍රතිඵලය වූයේ, පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව දෙගුණයක් වීමයි.

ඒ අනුව ඊට පිලියම් යෙදීමේ අරමුණින් පළාත් පාලන ආයතන සඳහා සීමා නිර්ණ කමිටුවක් පත් කෙරුණු අතර එහි ද සභාපතිවරයා වූයේ, වත්මන් අග්‍රාමාත්‍යවරයායි.

අදාළ කමිටුවට වසර 3 ක් සම්පූර්ණ වුව ද සීමා නිර්ණ කාර්යය සම්පූර්ණ වූයේ නැත.

එබැවින් පසුගිය සැප්තැම්බර් මාසයේදී නිල කාලය සම්පුර්ණ වූ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දික් කිරීමට විෂයභාර අමත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.

විෂයභාර ඇමතිවරයා එලෙස දිගු කරන කාලය සම්පූර්ණ වූ පසු පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට පැවරේ.

එහෙත් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් 21 වෙනිදා සිට බලාත්මක වීමත් සමග මැතිවරණ කොමිසම පවතිනුයේ සංක්‍රාන්තී සමයකයි.

එවැනි පසුබිමක පළාත් පාලන ආයතන සීමා නීර්ණ ජාතික කමිටුවක් නැවත පත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසිනුයි.

ඊට පසුබිම සැකසමින් දෝ ජනාධිපතිවරයා පසුගිය දා පළාත් පාලන අයාතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවක් අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදීන් ලෙස පෙනී සිටින්නන් වේ.

නමුත් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමය සංශෝධනයට අගමැතිවරයා ලෙස දායක වූ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපතිවරයායි.

එදා නායකත්වය දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අද අගමැති හා විෂය භාර අමාත්‍යවරයායි.

තමන්ම ඇති කළ ක්‍රමය වෙනස් කරන්නට යනක්නෙත් ඒ දෙදෙනායි.