යූරියා ටෙන්ඩර: අභියාචනා විභාගය අද

යූරියා ටෙන්ඩර සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා විභාග කිරීම අද ජනපති කාර්යයාලයේදී

by Staff writer 11-10-2022 | 8:56 AM

COLOMBO (News 1st) - මහ කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම සඳහාවූ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේ තීරණයක් ගෙන නොමැත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ටෙන්ඩරය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා විභාග කිරීම සඳහා අද (11) දිනයේ ජනාධිපති කාර්යාලයේ දී අභියාචනා කමිටුව රැස්වී  තීන්දුවක් ගන්නා බවයි.

මේ අතර ලෝක බැංකු ණය යටතේ මිලදී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපලඥයින් හා වෘත්තීය සමිති සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.

යුරියා පොහොර මිලදී ගැනීමේ වැඩ පිළිවෙළේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනා ගැනීමට හා කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ලබාගැනීම එම සාකච්ඡාවේ අරමුණවී තිබේ.

අද(11) පෙරවරුවේ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර  අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාල රත්නායක මහතා  පැවසුවේ, එළැඹෙන මහ කන්නය සාර්ථක කරගැනීමට නම්  පොහොර සහ කෘෂි රසායන අත්‍යවශ්‍ය බවයි.