චීන නැවට ලංකාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි

චීන යුවාන් වැන්ග් 5 නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි

by Staff Writer . 13-08-2022 | 10:05 PM

COLOMBO (News 1st) - චීන යුවාන් වැන්ග් 5 නෞකාවට අගෝස්තු 16 වැනිදා සිට 22 වැනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නෞකාව අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොට වරායට පැමිණෙන බවට කොළඹ චීන තානාපති කාර්යාලය ඊයේ (12)  දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ බවයි.

අගෝස්තු 16 සහ 22 අතර කාලය තුළ නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස චීන තානාපති කාර්යාලය යළි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබුණා.

ඒ අනුව සියලු කරුණු සලකා බලා අගෝස්තු 16 සහ 22 අතර නෞකාවට පැමිණීම සඳහා වන අවසරය කොළඹ චීන තානාපති කාර්යාලයට අද (13)  දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, සියලු රටවල් සමග සහයෝගිතාව සහ මිත්‍රත්තවය පිළිබඳව ශ්‍රී  ලංකාවේ ප්‍රතිපත්තිය යළි අවධාරණය කරන බවයි.

අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවට අතිශයින්ම ප්‍රමුඛතාව ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එය ශ්‍රී  ලංකාවේ ජාත්‍යන්තර බැදීම්වලට අනුකූලව මෙන්ම සියලුම රටවල නීතයානුකූල අභිලාෂයන් ආරක්ෂා කිරීමට බවද විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටියේ ය.

මෙම නෞකාව පිළිබඳව ගැටළුවේදී  රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී  ලංකා රජය ඉහළ උපදේශණ සාකච්ඡාවල නිරත වූ  බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ස්වෛරී සාමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව සහ සියලු පාර්ශ්වයන්ගේ අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මිත්‍රත්වය සහ අන්න්‍යෝනය විශ්වාසය සහ සංවාදය තුළින් එය විසදා ගැනීමට එම සාකච්ඡා පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.