චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්..

ආන්දෝලනාත්මක චීන නෞකාව ලංකාවට නාවික සැතපුම් 600ක් දුරින්..

by Staff writer 11-08-2022 | 6:42 PM

COLOMBO (News 1st) –  යුවාන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද(11) දිනයේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600 ක පමණ දුරින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබේ. 

අප මේ පිළිබඳව කළ විමසීමකදී හාබර් මාස්ටර්වරයා ප්‍රකාශ කළේ, එම නෞකාව අද දිනයේ ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවයි.

තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුල් කිරීමට නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය. 

විදේශ කටයුතු අමාත්‍යාංශය චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණිම ප්‍රමාද කරන ලෙස දැනුම් දුන්නද වරායට පැමිණිමට ඉඩ ලබාදෙනවාද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

යුවාන් වැන්ග් 5 චින අධි තාක්ෂණික නෞකාව පසුගිය ජූලි මස 14 වෙනිදා චීනයෙන් පිටත් වූ අතර , මේ දක්වා පැමිණි ගමනේදී ඔවුන් කිසිදු වරායකට ඇතුල් වූයේ නැහැ.

ඒ අනුව වරායකට ඇතුළු වී ඉන්ධන හෝ ආහාර නැවත පිරවීමකින් තොරව නෞකාව මේ වනවිට දින 28 ක් යාත්‍රාකර තිබේ.

චීන තානාපති කාර්යාලය පසුගිය ජුනි 28 වනදා කළ ඉල්ලීමකට අනුව මෙම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජූලි මස 12 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබුණි.

එහෙත් පසුගිය 08 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නැවත චීන තානාපති කාර්යාලයට ලිපියක් යොමුකරමින් නැව ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ වනවිටත් ඔවුන් ඉන්දියන් සාගරයට ඇතුළු වී අවසන් ය.

නැව ප්‍රමාද කරන්නැයි ඉල්ලා සිටින නිශ්චිත හේතුව විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය නොකළ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාල නෞකාව තම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි.

නමුත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බව ඊයේ අප කළ විමසීමකදි ප්‍රකාශ කළේ ය.

ඊයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබූ යුවාන් වැන්ග් 5 චින අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද යළිත් ආපසු හරවා ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබුණි.

කෙසේවෙතත් මෙම නෞකාව මුහුණ ලා ඇත්තේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක දෙසටයි.

නෞකාව ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා ඇති - නයින්ටිඊස්ට් රිඩ්ජ් - ලෙස හැදින්වෙන මුහුදු පත්ලේ ඇති කඳු පංතිය මතුපිටින් යාත්‍රා කරන ආකාරය ඒ.අයි.එස් දත්ත නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකියි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට මුහුණලා පැමිණි යුවැන් වැන්ග් 5 පෙරේදා රාත්‍රීයේ සිට සිය ගමන් මගේ වෙනසක් සිදු කළ අතර පසුව ඉතා අඩු වේගයකින් නයින්ටිඊස්ට් රිඩ්ජ් කදු පංතිය මතුපිටින් ඉහළ පහළ යන ආකාරය දක්නට ලැබුණි.

චීනය පසුගිය වසර දෙක තුළ ෂියැන්ග් යැන්ග් හොන්ග් නැමති චන්ද්‍රිකා ලුහුබැදීම් සිදුකරන නෞකා පංතිය යොදා ගනිමින් මෙම ප්‍රදේශයේ ගවේෂණ සිදු කළේ ය.

මේ අතර, පාකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සදහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව හෙට(12) කොළඹ වරායට පැමිණෙන බව හාබර් මාස්ටර්වරයා තහවුරු කළේ ය.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානය යොමුකර තිබුණි.

බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.