අනුප්‍රාප්තික ජනපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ

by Staff writer 20-07-2022 | 10:14 AM

COLOMBO (News 1st) –  අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඒ සදහා ඊයේ යෝජනා ස්ථිර විය. අද පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 1981 ජනාධිපතිවරණ විශේෂ විධි විධාන පනත අනුවයි. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මීට පෙර 1993 වසරේදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් ජනාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදී එහි වැඩ ආවරණය කිරීම පැවරුණු අග්‍රාමාත්‍ය ඩී. බි. විජේතුංග මහතා පසුව එම ධුරයේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ එවක පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙනි.

අද පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන්නේ රහස් ඡන්දයකි. එහිදී අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් පළමු දෙවැනි හා තෙවැනි මනාප ද සලකුණු කිරීමට මන්ත්‍රීවරුන්ට අවකාශ හිමිවේ.

අද පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නා තැනැත්තා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරීපත්වනු ඇති.

මේ අතර අනුප්‍රාත්තික ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට හා ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීම මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක බෙදීම් ඇතිව තිබේ. ඒ හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරණ සටන වඩාත් උණුසුම්වනු ඇති. ඉදිරි වසර දෙකහමාරකටත් අධික කාලයක් සඳහා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට වරම් හිමි කර ගන්නා අනුප්‍රාප්තිකයාට ද මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරයාට සමාන සියලු බලතල හා වරප්‍රසාද හිමි වනු ඇති.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ද සිය කැමැත්තෙන් ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඉවත් කළ හැක්කේ දීර්ඝ ක්‍රියාවලියක් වන දෝෂාභියෝගයකින් පමණි.