by Staff writer 14-07-2022 | 8:11 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසයි.
ජනාධිපති ධුරය දරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහජන විරෝධය නිසා රටින් පලාගොස් මුළු රටම අරාජිකත්වය කරා ඇද දමමින් ප්රජාතන්ත්ර විරෝධී බලවේගවලට හිස වීමටත් මහජනයාගේ මූලික අයිතිවාසිකම් මර්දනය කිරීමටත් ඉඩ සැලසෙන ආකාරයේ තත්ත්වයක් ඇති කර ඇතැයි එහි සඳහන් ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ක්‍රියා කලාපය මගින් පැහැදිලිවම ඔහු ප්රජාතන්ත්රවාදය ගරු නොකරන සහ මහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම පැහැර හරින නායකයකු බවට ප්‍රදර්ශනය කර ඇති බව ද මෙම ලිපියේ සඳහන් වේ.
එබැවින් අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලා සිටින්නේ ඔහු විසින් මේ වන විට කටයුතු කර ඇති ආකාරය සහ විශේෂිතවම සිය අනුප්‍රාප්තිකයා සම්බන්ධව නිසි පියවරක් නොසලකා රටින් පළා යාම මත ඔහු ජනාධිපති ධූරය අත් හැර ගියා සේ සැලකීමට කරුණු යෙදී ඇති බවයි.
දයාසිරි ජයසේකර මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව අග විනිසුරුවරයා වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල ක්රියාවේ යෙදවීමට අවස්ථාව උදාවී ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අනීතික සහ මහජන විරෝධී ලෙස ජනාධිපති ධූරය අතහැර යෑමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා උද්දේශිතව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබ ඇතැයි ජයසේකර මහතාගේ ලිපියේ සඳහන් ය.
දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ රටේ ඇතිවී ඇති තත්ත්වය තුළ පැහැදිලිවම පෙනී යන පරිදි එකී උද්දේශිත අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයට අදාළ උද්දේශිත කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීමට හැකියාවක් නොමැති බවයි.
එබැවින් එකී උද්දේශිත අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාට කිසි ලෙසකින්වත් ජනරජයේ ජනාධිපති ධුරයේ වැඩබැලීමට නොහැකි බව ඔහු අගවිනිසුරුවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.