මත්පැන් ඉල්ලුම 30% කින් අඩු වෙයි - COPF

මත්පැන් ඉල්ලුම 30% කින් පහළ ගොස් ඇති බවට අනාවරණයක්

by Sagarika Chathumali 23-06-2022 | 4:46 PM

COLOMBO (News 1st) – මෑත කාලීනව මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් රට තුළ  මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ,පසුගිය දා (20) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට සකස් කොට ඇති සැලසුම් පිළිබඳව ද කාරක සභා රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූ බව සඳහන් ය. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන්  මාර්ගගත ක්‍රමය ඔස්සේ  කාරක සභා රැස්වීම සඳහා සම්බන්ධ කර ගෙන තිබේ. මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත. මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බව ද අනාවරණය වී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳව ද මෙහිදී සවිස්තරව සාකච්ඡා වී තිබේ.