රේගුව පිළිබඳ පරීක්ෂණ කොමිසමේ වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

by Sagarika Chathumali 22-06-2022 | 9:31 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

අද (22) පෙරවරුවේ කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ, කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසිනි. රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින  මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කරනු ලැබිණ. කොමිසම වසරකට ආසන්න කාලයක් රේගු නිලධාරීන්, රේගු වෘත්තීය සමිති, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සේවාලාභීන්, ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන්  තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විතව මෙම  අවසන් වාර්තාව සකස් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වගකීම් ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා රේගුවේ ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් බවයි. මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කරන ලෙසයි. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන (වර්තමාන මුදල් ලේකම්), ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන පිරිස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.