රාජ්‍ය නිලධාරීන් වගා කටයුතූවලට යොමුවීම කාලෝචිතයි

නිවසේ සිට රාජකාරි කරන දිනවල නිවසේ වගා කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුයි - ඇමති රොෂාන්

by Sagarika Chathumali 02-06-2022 | 5:24 PM
රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා වගා කටයුතුවලට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් හට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවල දී නිවසේ වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුව ඇති බවයි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මේ බව පවසා ඇත්තේ, ඊයේ (01) තරුණ හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය. රටේ තරුණ ප්‍රජාව මෙම කාර්ය සඳහා සෘජුවම දායක කර ගැනීම සඳහා වූ විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට තරුණ ප්‍රජාව භාර තම අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. නිවස අවට භූමියේ තම පරිභෝජනය සදහා වගා කටයුතු සිදු කිරීමට පහසුකම් සැළසීම හා තමන් විසින්ම වගා කර ආහාර ද්‍රව්‍ය සකස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කිරීම කාලෝචිත බවත් එය ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය ආයතන අතර යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද එහිදී ප්‍රකාශ වී ඇත. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතු බවයි. මෙම අවස්ථාවට මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.