පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍යයෙන් තොරතුරු හුවමාරු කිරීමේදී සැලකිලිමත් වන්න.. පොලීසියෙන් දැනුම්දීමක්

by Sagarika Chathumali 11-05-2022 | 7:10 PM

COLOMBO (News 1st) –  සමාජ මාධ්‍ය ජාලා භාවිත කර තොරතුරු හුවමාරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය 09 වැනිදා හා එදිනෙන් පසු ඇති වූ අරගලකාරි තත්ත්වය මත සිදු වූ ජීවිත හානි මෙන්ම නිවාස, වාහන ඇතුළු විවිධ දේපළවලට අලාභහානි සිදු කිරීම් සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා ප්‍රචණ්ඩිකාරී පිරිස් කැඳවා ඇති බවයි. අන්තර්ජාලය හෝ පරිගණක භාවිත කරමින් ජනතාව කුපිත කරවීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරවීම, පරිගණක අපරාධ පනත යටතේ වරදක් බව ද එහි සඳහන් ය. එසේම පරිගණක අපරාධ පනත යටතේ එවැනි වරදක් සිදු කරන තැනැත්තන් ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටිය ද එම සියලු තැනැත්තන් නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වන බව ද එහි සඳහන් ය. තව ද සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීමේ දී හෝ එමගින් තොරතුරු හුවමාරු කිරීමේ දී ඒවායේ අන්තර්ගතය පිළිබඳව අවබෝධයකින් සහ එම තොරතුරු හුවමාරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි අපරාධමය තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට තරයේ අවවාද කර සිටී.