මහජන ආරක්ෂාව සහතික කිරීමට ත්‍රිවිධ හමුදාව

මහජන ආරක්ෂාව සහතික කිරීමට ත්‍රිවිධ හමුදාව

by Staff Writer . 11-05-2022 | 7:41 PM

COLOMBO (News 1st) – යුද හමුදා විශේෂ බලකායේ යුතුරු පැදි කණ්ඩායම් අද පෙරවරුවේ කොළඹ නගරයේ සංචාර ආරම්භ කර තිබිණ.

නගරයේ ප්‍රධාන පිවිසුම් ස්ථානවලට ත්‍රිවිධ හමුදාව යොදවා තිබූ අතර සන්නද්ධ සෙබලුන් ප්‍රවාහනය කරන රථ ද කොළඹ නගරය තුළ දැකගත හැකිවිය. නගරයේ බොහෝ ස්ථානවල හමුදා මාර්ග බාධක හා පරීක්ෂණ ස්ථාන ක්‍රියාත්මකවන අයුරුද දැක ගත හැකි විය. අප වාර්තාකරුවන් පැවසුවේ, කොළඹට තදාසන්න ප්‍රදේශවලත් හමුදා මාර්ග බාධක හා මුර සංචාර සිදුවූ බවයි. මේ අතර හමුදාව යොදවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කළහ. ප්‍රශ්නය :- බෆර් රථ එහෙම කොළඹ හැම තැනම යනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියනවා. ජනතාව බියට පත්වීමක් වෙන්නේ නැති වෙයිද ? පිළිතුර (යුද හමුදාපති) :- ජනතාව මොකටද බියට පත් වෙන්නේ. මේ රටේ හමුදාව ගමන් කරද්දී බය වෙන්න දෙයක් නැහැ. තමුන් වරදක් කරන්නේ නැත්නම්. වරදක් කරන්න ඉන්න කවුරු හරි ඉන්නව නම් බය වෙන්න පුළුවන්. රටේ ඇඳිරි නීතියක් පනවලා තියන වෙලාවේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලලා තියෙන්නේ තමුන් නිවෙස්වලට වෙලා ඉන්න කියලා.අත්‍යාවශ්‍ය සේවා අයට විතරයි යන්න අවසර දීලා තියෙන්නේ. ඒ හැරුනම නිවෙස්වල ඉන්න පුද්ගලයින් හමුදාව මුර සංචාර කරනවා කියලා, තමන් මොකක්හරි වරදක් කරන්න අදහසක් තියනවා වගේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ