21ට යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට

21 වන සංශෝධන කෙටුම්පත සඳහා යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට

by Staff Writer . 24-04-2022 | 8:39 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා හෙට (25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසුවේ නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව ඇති බවයි. සමගි ජන බල‍වේගය,එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රි කණ්ඩායම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂ වල යෝජනා පසුගියදා පාර්ලිමේන්තුවේදි කතානායකවරයා වෙත භාර දුන්නේ ය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ , ඒම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. කැබිනට් මණ්ඩලයට යොමු කරන ඒම යෝජනා සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදි පාදක කර ගැනීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරීමට නියමිතව තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය කඩිනමින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සාධනීය වෙනස්කම් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සශෝධනය ලෙස ගෙන ඒමට පසුගියදා පාර්ලිමෙන්තුවේ පක්ෂ නායකයින් සිය එකඟතාවය පල කළේ ය.