by Staff writer 17-04-2022 | 3:47 PM
COLOMBO (News 1st) – මෙරටට ළඟා වී ඇති ගල් අඟුරු රැගත් නෞකා සඳහා ගෙවීම් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකඟතාව පළ කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ නෞකා සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට මහ බැංකුව කටයුතු කරන බවට දැනුම් දී ඇති බවයි.
එම මුදල් ලද විගස කඩිනමින් එම නෞකාවල ඇති ගල් අඟුරු ගොඩබෑමට කටයුතු කරන බව ද, එම නිලධාරියා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, නෞකා දෙකේ ඇති ගල් අඟුරු ලබන ඔක්තෝබර් මාසය තෙක් නොරොච්චෝලේ බලාගාරය හරහා විදුලිය නිෂ්පාදනයට යොදාගත හැකි බවය.
ඩොලර් නොමැති වීම හමුවේ, නෞකාවල ඇති ගල් අඟුරු ලබා ගැනීමට නොහැකි වුවහොත්, දැනට ක්‍රියාත්මක දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදුකිරීමේ අවදානමක් ද පවතින බව, එම නිලධාරියා අනාවරණ කළේ ය.
ගල් අඟුරු ටොන් එක්ලක්ෂ විසිදහසක් අඩංගු අදාළ නෞකා දැනට දින 6ක් පමණ කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇතැයි, විදුලිය වෘත්තිය සමිති අනාවරණ කළේ ය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පැවසුවේ, අදාළ ගල් අඟුරු තොගය හෙට දිනයට පෙර නිදහස් කර ගැනීමක් සිදු නොකළහොත් මෙම නෞකා දෙක යළි හරවා යාමේ අවදානමක් ද මතුවී ඇති බවය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ, දිනකට එක් නෞකාවකට ඩොලර් 30,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවිමට ද සිදුවී ඇති බවයි.
අදාළ කරුණු සම්බන්ධයෙන්, අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවේ, නෞකා දෙකෙහි අඩංගු ගල් අඟුරු තොගය නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 32 ක මුදලක් අවශ්‍යව ඇති බවය.
ඒ සඳහා ණය වර ලිපි විවෘත කිරීමේ කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවත් කඩිනමින් ගල් අඟුරු තොගය නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් ලේකම්වරිය පැවසුවා ය.
නෞකාවන් මෙරට මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති කාලයට අදාළව ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවට වෘත්තීය සමිති සිදු කළ ප්‍රකාශය විදුලි බල අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රතික්ෂේප කළා ය.