by Staff writer 05-04-2022 | 10:36 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි 04ක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබුණු මාර්ග බාධකය අසළට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදු කර අදාළ නිලධාරීන් දෙදෙනා පිලිබඳ විනයානුකූලව කටයතු කරන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
යුද්ධ හමුදාපතිවරයා විසින් සිදු කළ අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වහාම ඒ පිළිබදව කටයුතු කරන බව පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි යුද්ධ හමුදාව ප්‍රකාශ කළේය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉල්ලීමක් කර ඇති බව ද සඳහන්ය.
මේ අතර අද සිදුවූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කර ඇති බවය.