පූර්ණ එන්නත්කරණයේ කොන්දේසි සැකසීමේ කමිටුව රැස්වෙයි

පූර්ණ එන්නත්කරණයට අදාළ කොන්දේසි සැකසීමේ කමිටුව ඇමති ප්‍රධානත්වයෙන් රැස්වෙයි..

by Staff writer 18-03-2022 | 5:34 PM

COLOMBO (News 1st) – පූර්ණ එන්නත්කරණයට අදාළ කොන්දේසි සැකසීමේ කමිටුව රැස් වී තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන එම රැස්වීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටී. අමාත්‍යවරයා පැවසුවේ, ලබන අප්‍රේල් මස 30 වැනිදායින් පසු පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථානවලට ඇතුළුවීම සීමා කෙරෙන බවය. මේ අතර, වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇත්නම් පමණක් පූර්ණ එන්නත්කරණය ලෙස සලකන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, අප්‍රේල් මස 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොදු ස්ථානවලට ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බවට වන එන්නත් කාඩ්පත අනිවාර්ය වන බවයි.