අධිභාර බදු කෙටුම්පත සංශෝධනය කරනවා -  නීතිපති

අධිභාර බදු කෙටුම්පත සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

by Staff Writer . 02-03-2022 | 3:38 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු කෙටුම්පතෙන් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල ඇතුළු අරමුදල් 13 ක් ඉවත් කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඒ බව නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවෙකා සිරිවර්ධන මහත්මිය මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ එම ලේඛනය අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී මෙම සංශෝධනයන් සිදුකරන බව ද නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටි‌යේ ය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් එම පනත් කෙටුම්පත ට අදාළව සිදු කිරීමට නියමිත බවයි. මෙම පොත්සම් බුවනෙක අලුවිහාරේ, .ඒ.එච්.එම්.ඩී නවාස්, හා අර්ජුණ ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබී ය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ස්විස්ටෙක් ලංකා සමාගම, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ලංකා වෝල්ටයිල් සමාගම ඇතුළු පාර්ශව දහයක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. සේවක අර්ථසාධක අරමුදල සේවක භාරකාර අරමුදල විශ්‍රාම වැටුප් අරමුදල මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට එරෙහිව තම පෙත්සම ගොනු කළ බව පෙත්සම්කාර සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ය. නීතිඥවරුන් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පනත් කෙටුම්පතෙන් එම අරමුදල් ඉවත් කරගන්නේ නම් ඒ සම්බන්ධව තමන් සෑහීමකට පත්වන බව ද පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා නොකරන බවයි. පෙත්සම් සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැක්වීම් කල් තැබිණ.