පූජිත් හා හේමසිරි නිදහස් කරනවාද? නැද්ද? තීන්දුව අද

හිටපු පොලිස්පති පූජිත් හා ආරක්ෂක ලේකම් හේමසිරි නිදහස් කරනවා ද? නැද්ද? තීන්දුව අද (18)

by Staff Writer . 18-02-2022 | 10:16 AM

COLOMBO (News 1st) –  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, සිය රාජකාරි පැහැර හැරීම ඇතුළු අධිචෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩු දෙකෙන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම ඔවුන් නිදහස් කරනවා ද? නැද්ද ?යන තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ති‍බේ.

මෙම නඩු නාමල් බලල්ලේ , ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ඇති. විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පසුගිය දා දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුවයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පැවරූ මෙම නඩු දෙකෙන් ඔවුන්ට වෙන් වෙන්ව අධිචෝදනා 855 බැගින් ගොනුකර තිබුණි.