චීනයේ බීජිං නගරය තැබූ වාර්තාව ..

චීනයේ බීජිං නගරය වාර්තාවක් පිහිටුවමින් ශීත ඍතු ඔලිම්පික් උළෙල අරඹයි

by Staff Writer . 04-02-2022 | 9:05 PM

COLOMBO (News 1st)  - ඔලිම්පික් උළෙලකට සහ ශීත ඍතු ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබා දුන් ලොව පළමු නගරය ලෙස චීනයේ බීජිං නුවර අද (04) වාර්තා අතරට එක් විය.

ඒ, 2022 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල බීජිංහිදී ආරම්භ වීමත් සමගිනි. 2008 බීජිං ඔලිම්පික් උළෙලට යොදා ගත් ''බර්ඩ්ස් නෙස්ට්'' ක්‍රීඩාංගණය මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලට ද සත්කාරකත්වය සපයන අතර ක්‍රීඩා උළෙලේ ආරම්භ වූයේ, චීන ජනාධිපති ශී ජිං පිං සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බක් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. සමාරම්භක උළෙල විචිත්‍රාංග රැසකින් වර්ණවත් වී තිබුණේ, චීනයේ ඉපැරණි සංස්කෘතිය පමණක් නොව එරට සතු තාක්ෂණික දැනුමද නිරූපණය වන ලෙසය. ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට පෙර ක්‍රීඩා ඉසව් කිහිපයක් පැවැති අතර බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වූයේ, ෆිගර් ස්කේටිං යුගල මූලික වටයේ ඉසව්වටයි. සත්කාරක චීනයේ ක්‍රීඩක යුගලය එහි ප්‍රථම ස්ථානයට පත් වූ අතර ඔලිම්පික් ධජය යටතේ තරග කරන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි දෙවැනි ස්ථානයට, අමෙරිකාව තුන්වැනි ස්ථානයට පත් විය.