පොලිස් නිලධාරීන් දෙපිරිසක් අතර ගැටුමක්

පොලිස් නිලධාරීන් දෙපිරිසක් අතර ගැටුමක් ,දෙදෙනකු රෝහලේ

by Staff Writer . 01-02-2022 | 5:24 PM

COLOMBO (News 1st) - පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරකපොල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, රථවාහන වරදක් සම්බන්ධයෙන් 29 වැනිදා රාත්‍රියේ වෑන් රථයකින් ගමන් ගත් පිරිසක් සහ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසක් අතර අබේපුස්ස ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන ඇති බවයි. එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබේ. වෑන් රථයේ ගමන් කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු සහ මාරවිල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකි. ගම්පහ පොලිස් ස්ථානයේ, දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථය ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් ක‍ළේ ය. ගුටි බැට හුවමාරුවෙන් අනතුරුව වෑන් රථය පළාගොස් තිබේ. අනතුරුව මෝටර් රථයේ සිටි පුද්ගලයින් වරකපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වෑන් රථය ගමන් ගත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වරකපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ ඇප මත මුදාහැර තිබේ. මේ වනවිට මාරවිල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාරවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ගම්පහ දූෂණ මර්දන අංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් ක‍ළේ ය. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ , ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගන්නා බව ය. දෙපිරිසම බීමත්ව සිටීම හේතුවෙන් ගැටුම හටගෙන ඇති බව, දැනට සිදුකරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.