කාලගුණයේ වෙනසක්...

කාලගුණයේ වෙනසක්...

by Staff Writer . 14-12-2021 | 9:13 AM

COLOMBO (News 1st); දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇති. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.