ප්‍රියන්ත කුමාරට ඇත්තට ම මොකද වුණේ... ?

ප්‍රියන්ත කුමාර ඝාතනයේ සුලමුල හෙළි කළ පන්ජාබ් වාර්තාව

by Staff Writer . 07-12-2021 | 1:04 PM

COLOMBO (NEWS1ST):  පන්ජාබ් ප්‍රාන්ත රජය ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාවක් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත යොමු කර තිබේ.

අදාළ වාර්තා උපුටා දක්වමින් පාකිස්ථානයේ ජියෝ ටීවී නාලිකාව පවසන්නේ, ප්‍රියන්ත කුමාර දැඩි ලෙස විනය සම්බන්ධයෙන් කටයුතු කළ කළමනාකරුවෙකු බවයි. පසුගිය සිකුරාදා උදෑසන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ අලසකම ගැන ඔහු දෝෂාරෝපණය කර තිබේ. අදාළ වාර්තාවට අනුව පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ සැලසුම් සකස් කිරීමෙන් පසු බිත්තිවල අලවා තිබූ පෝස්ටර් ගැළවීමට ප්‍රියන්ත කුමාර මහතා උත්සාහ කර ඇත. ආගමික උත්සවයකට ආරාධනා කළ පෝස්ටරයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇති වූ බව පන්ජාබ් ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත්  සඳහන් ය. කර්මාන්ත ශාලාවේ හිමිකරු මේ ස්ථානයට පැමිණ තත්ත්වය සමතයට පත් කළ බවත්, තම අනවබෝධය නිසා මෙවැන්නක් සිදු වූ බවට ප්‍රියන්ත කුමාර මහතා සමාව අයැද සිටි බවත්  පාකිස්ථානයේ ජියෝ ටී වී නාලිකාව සඳහන් කරයි. ඉන් අනතුරුව කිසියම් පිරිසක් ප්‍රියන්ත කුමාර මහතා සොයමින් ඔහුට පහරදීමට පියවර ගෙන තිබේ. 800කට වැඩි පිරිසක් ඔහුට පහරදීම සඳහා පැමිණි ඇති බව වාර්තා වේ. ප්‍රියන්ත කුමාර මහතා මිය ගියේ, එරට වේලාවෙන් 11.28 ට වන අතර දේහයට ගිනි තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. එම අවස්ථාව වන විට කර්මාන්තශාලාවේ ආරක්ෂක නිලධාරීන් දහතුන් දෙනෙකු සිටිය ද ඔවුන් කිසිවෙක් ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට අවම උත්සාහයක්වත් ගෙන නොමැත. වසර 11ක් පුරා සියල්කෝට්හී කර්මාන්ත ශාලා කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වූයේ, පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි ප්‍රියන්ත කුමාර දෙදරු පියෙකි.