සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා

සහරාන්ගේ බිරිඳට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

by Staff Writer . 02-12-2021 | 3:35 PM

COLOMBO (NEWS1ST) : පාස්කු ප්‍රාහාරය මෙහෙයවූ බව කියන සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාට එරෙහිව නීතිපතිවරයා කල්මුණේ මහාධිකරණය හමුවේ අද (02) අධිචෝදනා ගොනු කළේ ය.

ඒ 2019 අප්‍රේල් 21 වැනිදා සිට 26 වැනිදා දක්වා සාරා ජස්මින් හෙවත් පුලස්තීනි මහේන්ද්‍රන් නමැත්තිය පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කොට ළඟ තබා ගැනීම පිළිබඳව පොලීසියට වසන් කිරීම සම්බන්ධයෙනි. සැකකාරිය අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනත් එය පොලීසියෙන් වසන් කිරීමෙන් අපරාධමය වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල සඳහන් ය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ සහරාන් හෂීම්ගේ බිරිඳ මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ජේ. ට්‍රොක්සි මහතා සැකකාරිය ලබන ජනවාරි 10 වැනිදා කල්මුණේ මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කළේ ය.