සැකකරුවෙකු මියයාමේ සිද්ධියකින් පනාමුර පොලීසිය ඉදිරිපිට උණුසුම් (VIDEO)

by Staff Writer . 17-11-2021 | 11:00 PM

COLOMBO (NEWS1ST) :  පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් ඇඹිලිපිටිය පනාමුර පොලීසිය ඉදිරිපිට අද (17) උණුසුම් තත්ත්වයක් ඇති විය.

පනාමුරේ පොලීසිය ඊයේ රාත්‍රි අත්ඩංගුවට ගත්  ඉන්දික ජයරත්න නමැති 38 හැවිරිදි තිදරු පියෙකු එලෙස මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ ඥාතීන් හා ගම්වාසීන් පනාමුරේ පොලිස් ස්ථානය ඉරිපිටට පැමිණ විරෝධය පළ කරමින් කියා සිටියේ මරණය සැක සහිත බවයි. උදෑසන 8 ට පමණ ඇඹිලිපිටිය , සුරියකන්ද මාර්ගය ද සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාව අරම්භ විය. අදාළ පුද්ගලයා රැගෙන යාම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනක් මෙලෙස කරුණු පැහැදිලි කළහ.
''අත්අඩංගුවට ගත්තේ ගෙදර වයිෆ් එක්ක පොඩි ආරවුලක් වෙලා. ඒකට ඇන්ට්‍රියක් දාලා වයිෆ් ගිහිල්ලා මෙයා දවස් තුනක් ඇවිත් තිබුණේ නෑ. පොලීසියට එන්න කියලා තියනවා. ඊට පස්සේ තමයි මෙයාව ගහ ගහ අරගෙන ආවේ, පොලීසියේ මහත්වරු තුන් දෙනෙක් හිටියා'' ''රෑ 9 ට විතර කඩේගාවට ආවා. කෑ ගහන සද්දයක් ඇහුණා බලනකොට ඉන්දික මාමට ගහනවා පොලීසියෙන්, මං කිව්වා මහත්තයෝ ගහන්න එපා ඔය විදිහට ගහන්න එපා. තෝ මොකක්ද කියන්නේ ඉවර වෙලා මගෙත් මෙහෙම අල්ලා ඉවරවෙලා පාරවල් තියනවා මට සපත්තු පාරවල් අරෙහේ මෙහේ ගහලා ගමම වටවුණා'' ''ගෙවල්වල පවුල් ප්‍රශ්න කියන එක වෙනම කතන්දරයක් ඒට එහෙම කියලා ඒ මිනිහා මරන්න බෑ නේ, අපට සාධාරණය ඕන ඇයි මැරිච්ච මිනිහා ලිහුවේ එල්ලිලා මැරුණා නම් ලිහුවේ ඇයි?''
මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය 12 වෙනිදා අවරුදු 14 ක් වයස දියණියට මෙම සැකකරු අමානුෂික ලෙස පහරදී තිබූ බවයි. ඇය දින හතරක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිල්ල විභාග කිරීමට පොලීසිය සැකකරුට කැඳවීම් කර තිබේ. නමුත් ඔහු පොලීසිය මග හරිමින් සිටි බවත් ඊයේ බිරිඳ නැවත සිදුකළ පැමිණිල්ලක් මත ජංගම රථයක් යවා සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවත් පොලීසිය පැවසී ය. පොලීසිය කියා සිටියේ ඊයේ රාත්‍රි 9.45 ට පමණ සැකකරු පනාමුර පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර අද අලුයම 3.30 - 3.40 ත් අතර ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ බවයි. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් වහාම සැකකරු රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර රෝහලට භාරදෙන අවස්ථාවේ ඔහු මියගිය බවත් පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි පුද්ගලයෙකු බව පොලීසියේ පැහැදිලි කිරීමේ සඳහන් ය. එහෙත් පොලිසියේ පැහැදිලි කිරීම පිළිගත නොහැකි බව පැවසූ ඥාතීන් ඇතුළු පිරිස අද පස්වරුව වනතෙක් පනාමුර පොලීසිය ඉදිරිපිට රැඳී සිටියේ ය. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද දහවල් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේ ය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය විකාශය වීමෙන් පසුව පනාමුර පොලිසිය ඉදිරිපිට රැස්ව සිටි පිරිස මාධ්‍යවේදීන්ට ද සිය විරෝධය පළ කළේ ය. අද පස්වරුව වනවිට පිරිස පොලිස් ස්ථානය අසලින් ඉවත්වූ අතර සිද්ධියට අදාළව මේ වනවිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.