වජිරා චිත්‍රසේන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

වජිරා චිත්‍රසේන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

by Staff Writer . 17-11-2021 | 9:49 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලාංකීය නර්තන කලාවට අග්‍රගණ්‍ය සේවාවක් සිදුකළ ප්‍රවීණ නර්තන ශිල්පිනී, දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, අරලියෙගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ, මෙම සම්මානය ඇය වෙත ප්‍රදානය කළ බවයි. ඉන්දීය ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළ ම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසරේ කලා ක්ෂේත්‍රය සඳහා කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහගු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත පිරිනැමිණි. නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී පසුගිය 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය "පද්ම ශ්‍රී සම්මානය" ලබා ගෙන තිබේ. හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා ද 2002 වසරේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබී ය.