පැන්ඩෝරා විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව පිළිබඳ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට..

by Sagarika Chathumali 10-11-2021 | 8:04 PM

COLOMBO (NEWS1ST):  පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ වාර්තාවෙන් දැනුම් දී ඇත්තේ, තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බවයි. විමර්ශන අවසන් වී නොමැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබා දීමට කටයුතු කරන බව ද එහි වැඩිදුරටත් දක්වා ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා ප්‍රගතිය පිළිබඳ  මෙම වාර්තාව යොමු කර ඇත්තේ, පසුගිය  08 වනදායි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එකී ගනුදෙනු පිළිබඳ වහා ම විර්ශනයක් සිදු කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය දා දැනුම් දුන්නේ ය. ඒ අනුව අදාළ දැනුම්දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ඔක්තෝබර් මස 06 වනදා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබිණ.