ලුතිනන් කර්නල් ඇතුළු 15 දෙනා යළි රිමාන්ඩ්

ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය: ලුතිනන් කර්නල් ඇතුළු 15 දෙනා යළි රිමාන්ඩ්

by Staff Writer . 15-10-2021 | 11:16 AM

COLOMBO (NEWS1ST) : මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු ලුතිනන් කර්නල් සමන්ත තිලකරත්න ඇතුළු සැකකරුවන් 15 දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය අද (15) නියෝග කළා ය.

ඒ, අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ ගැටුමක් මත තොටළඟ එල්ලේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ අකිල සම්පත් රත්නසිරි නමැති 36 හැවිරිදි තිදරු පියෙකු ඝාතනය කිරීම හා ඒ සඳහා අධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද යළි අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනිය ලෙස කටයුතු කළ තැනැත්තිය හා යුද හමුදා බුද්ධි නිලධාරින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. විමර්ශනයේදි සොයා ගත් රුධිර සාම්පල යතුරුපැදි කොටස් ඇතුළු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේ ය. සැකකාර හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගිවිසුමක් මත ලබාගෙන තිබූ කැබ් රථය රුපියල් ලක්ෂ 50 ක බැඳුම්කරයකට යටත්ව ලියාපදිංචි හිමිකරුට භාර දෙන ලෙසට ද අධිකරණය නියෝග කළේ ය. මේ අතර මට්ටක්කුලිය පොලීසිය පසුගිය 30 වනදා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඝාතනය, සැකකාර ලුතිනන් කර්නල්වරයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයකින් පසුගියද 17 වැනිදා මෙම පුද්ගලයා පැහරගෙන ගොස් ඇති අතර ඔහුගේ සිරුර පසුගිය 20 වැනිදා කාකදුපතේ වෙරළේ තිබියදී සොයා ගැනිණ. පොලීසිය පැවසුවේ මොහු පැහරගෙන ගොස්, පහර දී ගෙල සිරකොට පසුව සේදවත්ත කළු පාලමෙන් කැලණි ගඟට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි.