ඉන්දියාව පිනවා 'මැණිකේ' යළි එයි

by Staff Writer . 13-10-2021 | 12:44 PM
  මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව ජනාදරයට පත්වූ ශ්‍රී ලාංකීය නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කර දිවයිනට පැමිණියා ය. ඇය මව්බිමට පැමිණියේ, ඊයේ රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙනි. කටුනායක ගුවන් තොටුපළට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර ඇය ගුවන් තොටුපළෙන් පිටත්ව යන අවස්ථාවේදී විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබීම ද විශේෂතවයකි. "මැණිකේ මගේ හිතේ " ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය ආදරය දිනාගත් යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්විය. ඇය සති දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිටි අතර එහිදී බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් ඇයට අවස්ථාව හිමිවිය. එමෙන්ම යොහානි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සමග ඉන්දියාවේ අතිශය ජනප්‍රිය බිග් බොස් වැඩසටහනේ විශේෂ ආරාධිතයෙකු ලෙසත් සම්බන්ධ වූවා ය. යොහානි ප්‍රතිනිර්මාණය කළ 'මැණිකේ මගේ හිතේ'' ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 150 ඉක්මවා ගොස් තිබේ.