ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා හෙට (02) දිවයිනට

ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය හෙට (02)

by Sagarika Chathumali 01-10-2021 | 6:29 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා නිල සංචාරයක සඳහා හෙට (02) දිවයිනට පැමිණීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයා ලබන 5 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බවයි. ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමග පවත්වන ද්විපාර්ශ්වීය සාකච්ඡාවට අමතරව, ජනපති, අගමැති හා මුදල් ඇමති සහ විදේශ අමාත්‍යවරයා ද හමුවීමට නියමිත ය. විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ ද සංචාරය කිරීමට ද නියමිතව ඇත. ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.