දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් ළඟදී ම...

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් ළඟදී ම...

by Sagarika Chathumali 29-09-2021 | 10:26 PM

COLOMBO (NEWS1ST) :  දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා  මේ බව පවසා ඇත්තේ, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් සමග අද (29) සෞඛ්‍ය අමාත්‍යංශයේදී  පැවති සාකච්ඡාවකදී  ය. සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දුම්වැටි භාවිතය අවම වනු ඇතැයි, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බවයි. මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වනවිට සකස්කර ඇැතයි ද , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා එහිදී පවසා තිබේ. 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරී පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා අතර ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථානවල දුම්පානය, අදී කරුණු සම්බන්ධයෙන් පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති ගෙන ඒමට ද අපේක්ෂිත ය. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාදය යාවත්කාලීන කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ. අමාත්‍යවරයා මෙහිදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට උපදෙස් දී ලබා ඇත්තේ, දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා පුළුල් ප්‍රචාරයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ය.