වැට ඉවත් කිරීමෙන් අලින්ගෙන් බැටකන ජනයා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතට....

by Staff Writer . 26-09-2021 | 9:56 PM

COLOMBO (NEWS1ST) : ලෝක උරුමයක් විය යුතු පරාක්‍රම සමුද්‍රයටත් තර්ජන එල්ල කළ මංතීරු සංවර්ධනය නිසා මතුව ඇති අලි තර්ජනයට විසඳුම් දෙන ලෙස බල කරමින් පොළොන්නරුව ජනතාව අද (26) විරෝධතාවයක නිරත විය.

මේ ජනතාව ඉල්ලන්නේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා ඉවත් කළ අලිවැට නැවත සකස් කරන ලෙසයි. බලධාරීන්ගේ ඉක්මන නිසා දැන් මීට පෙර වන අලි නොපැමිණි ගම්වලට ද දැන් අලි තර්ජන මතුව තිබේ. මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළේ ය.
''අලි ඇවිල්ලා විනාශ කරනකොට අපි මොනවාද කරන්නේ මංතීරු අපිට වැඩක් නැහැ. අපේ දරුවන්ගේ ජීවත බේරාගන්න ඕනේ අපි ජිවත්වෙලා ඉන්න ඕනේ. මංතීරු වැඩක් නැහැ තිබ්බ විදියට අපිට අලිවැට දාලා දෙන්න'' ''අලිවැට ගැලෙව්වාට පස්සේ දැන් ගමට අලි ඇවිල්ලා විනාශ කරනවා කොයිම වෙලාවේ හරි ජිවිතත් අහිමි වෙනවා මිනිස්සුන්ගේ ඒ තරම් භයානක තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දා කරුණාකරලා අපි රජයෙන් ඉල්ලන්නේ අලිවැට ආපහු දෙන්න කියලා ඉක්මනට'' ''ඒ ගොල්ලොන්ගේ බලාපොරාත්තුව තියෙන්නේ මේ රලපනාව හදන්න ඕන කියන නිසා තමයි ඒ ගොල්ලෝ විදුලිවැට දාන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ජිවිත බල්ලාට දාලා මිනිස් ජිවිත අලියාට පූජා කරලා විනාශ වෙන්න ඇරලා මෙන්න මේක මොනවයින් හරි ක්‍රමයකින් මංතීරුව හදන්න තමයි ඒ ගොල්ලන්ගේ සුදානම''
මේ අතර පරාක්‍රම සමූද්‍රයේ බැම්ම මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීම සඳහා විදුලිවැට ගලවා ඉවත් කිරීමෙන් වනඅලි තර්ජන එල්ල වු ගම්මානවලට මහාසංඝරත්නය අද (26) වැඩම කළහ. තමන්කඩුව, පරාක්‍රම සමූද්‍රය ආසන්නයේ පිහිටි පත්තිනි පෙදෙස ගම්මානයට සහ පොත්ගුල් ප්‍රදේශයේ ගම්මානයට වනඅලි තර්ජන එල්ල විය. එහිදී භික්ෂූන් වහන්සේ කිහිප නමක් මාධ්‍යට අදහස් දැක්වූ අතර බැදිවැව ශ්‍රී මහින්දාරාමාධිපති පූජ්‍ය දියසෙන්පුර නන්දරතන හිමියන් පැවසුවේ,  මංතීරුව සැකසීමට යෝජනා කරන මහාවිහාරවල නායක හාමුදුරුවරුවරුන්, මැති ඇමතිවරුන් කිසිවෙකු මෙම ජනතාවට සිදුව ඇති හානිය සොයා බැලීමට නොපැමිණෙන බවයි.
''මංතීරුව හදන්න යෝජනා කරන මහාවිහාරවල නායක හාමුදුරුවෝ මේ මිනිසුන්ගේ හානි බලන්න එන්නේ නැහැ . කවුරුවත් මැති ඇමතිවරු මේවා බලන්නේ නැහැ. තමන්ගේ ඇවිදින එක කොමිස් ගහගන්න එක හදාගත්තහම හොඳටම මේ අහිංසක මිනිසුන්ට සාධාරණයක් කරන්න ඕනේ. අහිංසක මිනිසුන්ගේ දානය වළඳලා අහිංසක මිනිසුන්ට මේ වගේ හානියක් වෙනකොට බලන්නේ නැතිනම් මොකක්ද මේ මහනකමේ ඇති වැඩේ? අපි අහිංසක ගොවි ජනතාවගෙන් ජිවත් වෙන්නේ ඒ ජිවත්වෙන නිසා තමයි අපිට කැක්කුමක් තියෙන්නේ''
පොළොන්නරුව අක්කර 500 ගුණරතනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය අලුත්වැවේ ප්‍රේමරතන හිමි මෙලෙස අදහස් පළ කළහ.‍
''මේ පරාක්‍රම සමුද්‍රය ඉදිකරණ මංතීරුව පිළිබඳව මේකේ ආදිනව පිළිබදව රටවාසින්ට පාලකයන්ට නායකයන්ට මාසයක් තිස්සේ අපි කියනවා. රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පරාක්‍රම සමුදුරේ වැව් බැම්ම මත ඉදිකරන මංතීරුව හැදීමේ ප්‍රතිපලය තමයි මේ තියෙන්නේ''