පරාක්‍රම සමුද්‍රය රකින්න ගොවීන්ගෙන් අලුත් සැලසුම්

පරාක්‍රම සමුද්‍රය රකින්න ගොවීන්ගෙන් අලුත් සැලසුම්...

by Staff Writer . 19-09-2021 | 8:05 PM

COLOMBO (NEWS1ST) :  පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත ඉදිකිරීමට නියමිත ඇවිදින මංතීරුව ඉදිකළ යුතු බව පොළොන්නරුව තරුණ එකමුතුව පෙන්වා දෙයි.

පරාක්‍රම සමුද්‍රය සුරැකීම ව්‍යාපාරය අවධාරණය කළේ, වටිනා ජාතික සම්පතක් විනාශ කිරීමට ඉඩ නොදෙන බවයි. අද (19) පෙරවරුවේ පොළොන්නරුව තරුණ එකමුතුව නමින් පිරිසක් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතට පැමිණ මංතීරුව ඉදිකිරීමට සූදානම්වූ ස්ථානය නිරීක්ෂණය කළේ ය. එලෙස පැමිණි පොළොන්නරුව තරුණ එකමුතුව පුබුදු ජයසමන් නමැත්තා සඳහන් කළේ, වාරි ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන වාරි ඉංජිනේරු කාර්යාලය මැදිහත්ව සිදු කිරීමට යන මේ කටයුත්තේ වරදක් නොදකින බවයි.
''මේ කටයුත්ත සිද්ධ කරන එකෙක් වැරදි භාවයක් අපිට පේන්නේ නෑ. හේතුව මේක නිකම්ම නිකං ගමේ ඉන්න සුමනෙ මාමලා, මයිකල් මාමලා, ඇවිල්ලා බාස්ලා ඇවිල්ලා කරන එකක් නෙවෙයි නේ. වාරි ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කරගෙන වාරි ඉංජිනේරු කාර්යාලය මැදිහත් වෙලා මේක කරන්නේ. රලපනාව වැවට තල්ලු කරලා කියලා කියනවා. හැබැයි එහෙම කටයුත්තක් නෑ මේකේ. යම් මට්ටමක පොඩි සුද්ධ පවිත්‍ර කිරීමක් කරලා තියෙනවා''
සූභාෂ් ගලප්පත්ති නමැත්තා එහිදී මෙවැනි ඉල්ලීමක් සිදු කළේ ය.
''සත්‍ය... මොකක්ද කියන එක හොයලා බලලා තමයි අපේ තරුණ තරුණියන් අද මෙතෙන්ට පැමිණියේ රාජ්‍ය ඇමති කෙනෙක් විදිහට පත් වෙලා රොෂාන් රණසිංහ ඇමතිතුමා වැඩ කරන් යද්දි, මේ සියලු දෙනා කකුලෙන් අදින න්‍යාය ක්‍රියාත්මක කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා''
පොළොන්නරුව තරුණ එකමුතුවේ නශාන්ත ජීවන් පැවසුවේ, - වැව විනාශ වන්නේ නම්, මුලින්ම පෙළ ගැසෙන්නේ සිය එකමුතුව බවයි
''මේ වැව විනාශ වෙනවා නම්, ඉස්සරලම පෙළ ගැහෙන්නේ අපි. වැලි ටිපර් ගල් ටිපර් විස්සක් තිහක් මේකේ යනවා දවස පුරා බලන්න පාරේ තැන් තැන් වල ඉරි තැලිලා තියෙනව. ඉස්සරලම එහෙනම් විරුද්ධ වන කට්ටිය විරුද්ධ වෙන්න ඕනේ ඒකට. මොකද මිනිහෙක් පයින් ගියා කියලා වැව් බන්ට් එක විනාස වෙන්නෙ නෑ''
මේ අතර පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරය අද පෙරවරුවේ පොළොන්නරුව බෝධිමළු විහාරස්ථානයට එක්රැස්විය. මහා සංඝරත්නය සහ ගොවීන් ඇතුළු විශාල පිරිසක් පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරයට එක්වී සිටිති. එහි සභාපති ජගත් අරුණ කීර්ති මහතා අභියෝග කරමින් කියා සිටියේ,  මෙහි කටයුතු ආරම්භ කළ හොත් එදිනට බලධාරීන්ට ගොවීන්ගේ ශක්තිය දැක ගැනීමට හැකි වනු ඇති බවයි.
''අපවාහන පද්ධතිය බිඳ වැටිලා බෙදුම් ඇලවල් සම්පූර්ණයෙන් කැඩීබිදී ගිහිල්ලා, හැබැයි මේවා ගැන කතාවක් නෑ. එක එක දේශපාලන පක්ෂවල එක එක උදවිය ඇවිල්ලා බන්ට් එකේ මොනවා කරත්, වැඩේ පටන් ගන්න කියන්න පුළුවන්නම් ගොවියන්ගේ හයිය පෙන්නන්නම් අපි. වැලි කැටයක් ගල්කැටයක් පෙන්නේ නැති වෙන්න ගොවියෝ නිදියනවා මේකේ...''
ගොවීන් සහ මහා සංඝරත්නය සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාගමනින්ම ගොස් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා හානිකළ රළපනාව නිරීක්ෂණය කළේ ය. පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපතිවරයා එහිදී මෙලෙස අදහස් පළ කළේ ය.
''පොඩි වැස්ස පටන් ගත්තෙ හෙට අනිද්දා වෙනකොට හොඳටම වහිනවා මේක ගැලවිලා අරහෙට හේදිලා කඩාගෙන ගියොත් කවුද වගකියන්නේ? . පල්ලෙහයින් ඉන්න අහිංසක ගොවියන් ගේ ජීවිත දේපළ වලට කවුද වගකියන්නේ? එයාල හිතන් ඉන්නවා පරාක්‍රම සමුද්‍රයේ ගොවිය විතරයි මේකට ඉන්නේ කියලා මුළු පොළොන්නරුවෙ ම ගොවියො ඉන්නවා. මේක රටේ උරුමයක් ලෝක උරුමයක්''
අලුත්වැව නැගෙනහිර ගොවි සංවිධානය අවධාරණය කර සිටින්නේ, මොනම හේතුවක් මත හෝ මෙම මංතීරුව ඉදි කිරීමට ඉඩ නොදෙන බවයි. සභාපති පී.කේ.ඩී. විජේරත්න මහතා පැවසුවේ, අවශ්‍ය නම්, මෙය පරාක්‍රම සමුද්‍රයේ යටිපැත්තේ ඉදි කළ හැකි බවයි.
''සියලු ගොවීන් ඉල්ලනවා ඒක යටිපැත්ත හදන්න. මෙතනම හුලං වදින්න ඕනි කියන්නේ වෙන මොකවත් නෙවෙයි, බේරෙ වැවට උණ තිස්ස වැවට උණ දේ මේකට වෙනවා. මේක විකුණනගෙන කන්න හදන්නේ''