බරපතළ සැකයට තුඩුදී ඇති දත්ත මගඩිය

සංවේදී දත්ත හදිසියේ අතුරුදන් වීම.. කොවිඩ් දත්ත, ආරක්ෂා වුණැයි කීම පිළිගත හැකි ද?

by Staff writer 05-09-2021 | 11:05 PM

COLOMBO (NEWS1ST) : ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත හදිසියේ අතුරුදහන්වීම බරපතළ සැකයට තුඩුදී තිබෙන්නකි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ දත්ත අවකාශය හෙවත් ගවන්මන්ට් ක්ලවුඩ්හි තිබුණු තහවුරු ලේඛන 5623ක් මැකීගොස් ඇතිබව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ඊයේ පිළිගත්හ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊයේ පැවසුවේ කොවිඩ් වසංගතයට අදාළ දත්ත එහිදී මැකී ගොස් නොමැති අතර ඒවා මැනුවල් ක්‍රමයට ගබඩා කර ඇති බවයි. මෙය සත්‍යයක්ද? අද මේ සම්බන්ධයෙන් අදහස් පළ විය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ මේ සූදානම වංචාවට සම්බන්ධ සියලු දෙනා බේරීමට හෝ එසේත් නැති නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයේදී දත්ත මැකී යාම තුළ දී එවැන්නක් සිදු නොවන බව පෙන්වීමට දැයි සමගි ජන බලවේග මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ප්‍රශ්න කරයි.
''මේ සියලු දෙනා covid සම්බන්ධයෙන් බෙහෙත් , antigen සෙට් ගේනකොට ලියාපදිංචි වෙලා තියෙන දැන්වීම තමයි මේ තියෙන්නෙ. ඒ වෙලාවේ auto vision ක්‍රමයට නැත්තං ඒ හා සමාන ක්‍රමයට ලියාපදිංචි වෙලා දැන් කියනවා manually තමයි ක්‍රියාත්මක කරල තියෙන්නෙ ඒ හින්දා දැන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. මේ හදන්නේ වංචාවට හොරකමට සම්බන්ධ වුණ සියලු දෙනා බේරලා, එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියන පරීක්ෂණය කෝවිඩ් සම්බන්ධ ප්‍රශ්නයේදී දත්ත මැකී යාම තුළ දී එහෙම දෙයක් වුණේ නෑ කියලා පෙන්නන්න ද මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලෑස්ති වෙන්නේ''
මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ, මේ සම්බන්ධ යම්කිසි වරදකරුවෙකු සිටී නම්, දඬුවම් කිරීම සඳහා උපරිම සහයෝගය තාක්ෂණ අමාත්‍යාංශයෙන් ලබා දෙන බවයි.
''මොකද බැලූ බැල්මට, ගිවිසුම් කඩ කිරීමක් අපිට පේනවා. CID එකේ පරීක්ෂණයක් යනවා, ඖෂධ නියාමන අධිකාරිය තමයි පැමිණිල්ල දාල තියෙන්නෙ, ඒ පරීක්ෂණ කටයුතු යන කාරණයක් නිසා මාධ්‍යයට ඒ සඳහා කරුණු ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ, යම්කිසි සමාගමක් හෝ පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් මේ පිළිබඳව වග කියන්න ඕනේ නම් ඔහුට උපරිම දඬුවම දෙන තැනට කටයුතු කරනවා''
මේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මේ සම්බන්ධයෙන් පළ කළ අදහසයි.
''මෙච්චර කල් කිව්වේ නැහැ මේ දත්ත මගඩියේ ආණ්ඩුවේ වැඩක් කියලා. හැබැයි මේ මන්ත්‍රීවරු පිරිස එකා පිට එකා නැගලා මේකට සුදු හුණු ගාන්න යන හින්දම අපිට අපිට හිතෙනවා මේ බේරගන්න යන්නේ තමන්ගේ හිතවතෙක් හරි තමන්ගේ ප්‍රධානියෙක් හරි තමන්ගෙ නායකයෙක් හරි කියලා. අපරාධ පරීක්ෂණයට හිතාමතා බලපෑමක් මේ මන්ත්‍රීවරු කරලා තියෙනවා ඒක නිසා සාපරාධී වරදක් විදියට මේක පිළිබඳව පරීක්ෂණ කරන්න. ආණ්ඩුවේ මන්ත්‍රීවරු ද විපක්ෂයේ මන්ත්‍රීවරු ද කියන එක කාරණාව නෙවෙයි අපේ රටේ මහජනතාව විදිහට බලාගෙන ඉන්නේ, මෙය අපරාධ පරීක්ෂණයක් නිවැරදිව කරලා එකේ තොරතුරු එළියට එනකල්''
මේ අතර ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ, දත්ත නැවත ලබාගත හැකි බව විශේෂඥවරු පෙන්වලා දී ඇති බවයි.
''දත්ත ගබඩාව මකන්න ඉස්සෙල්ලා කොපි කරලා වෙනත් පාර්ශවයකට ගියේ නැහැ කියන කාරණය. අපිට දැනට පණිවිඩය ලැබිලා තියෙනවා ඒ දත්ත ගබඩාව මකන්න ඉස්සෙල්ලා කොපි කරලා වෙනත් පාර්ශවයකට ගියේ නැහැ කියන කාරණය. ඒ කියන්නේ බුද්ධිමය දේපළ තවත් පාර්ශවයක් අතට පත් වුණේ නැහැ. කියන එක අපිට දැනුම් දීලා තියෙනවා. ඒ ගැන තමයි අපිට ප්‍රධාන වශයෙන් තිබුණේ ප්‍රශ්නයක්. මොකද මේ දත්ත නැවත ලබාගන්න පුළුවන් කියන එක තමයි විශේෂඥවරු පෙන්වලා දීලා තියෙන්නේවිශේෂයෙන්ම අපි දැක්කා මේ කොරෝනා මර්දනයට ඕන වෙන , Antigen, PCR, කට්ටල , ඖෂධවල දත්ත තමයි මකලා තියෙන්නෙ කියලා . කොරෝනා මර්දනය ට අදාළ වෙන පරීක්ෂණ කට්ටලයක හෝ දත්ත මැකිලා තිබුණෙ නැහැ''
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් කර ගැනීමට තරම් දෙයක් මෙහි නොමැති බවයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන්නේ, සීඅයිඩී පරීක්ෂණ අවසන් වීමට පෙර ආණ්ඩුවේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දී ඇති බවයි.
''සභාපතිවරයා සමග කතා කරලා කියනවා. ඖෂධ නියාමන අධිකාරිය අහිංසකයි එපික් කොම්පැණිය අහිංසකයි , බැකප් එකක් තියාගන්න ඕනෙම නැහැ. හැබැයි ඒ වගේම මේක නිසා කොරෝනාවලට කිසි බලපෑමක් නැහැ කියලා. සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා සීඅයිඩී එකේ අධ්‍යක්ෂක කරා නම් ඉවරයි''