කුඩා සිතුල්පව්ව දාගැබ හරා නිදන් සොරා ගනී

කුඩා සිතුල්පව්ව දාගැබේ නිදන් සොරා ගත් නිදන් හොරු සොයා විමර්ශන

by Staff writer 01-09-2021 | 10:12 PM

COLOMBO (NEWS1ST) :  යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි ඵෙතිහාසික සිතුල්පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දාගැබ ඊයේ (31) රාත්‍රි නිදන් හොරුන් විසින් හරා තිබේ.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, සොරොන් විසින් එහි තිබූ නිදන් වස්තු පැහැරගෙන ගොස් ඇති බවට සැක කරන බවයි. යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට මීටර් 190 ක් පමණ දුරින් කුඩා සිතුල්පව්ව දාගැබ පිහිටා තිබේ. නිදන් සොරුන් විසින් හාරා ඇත්තේ එම දාගැබයි. මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට කුඩා සිතුල්පව්වට ඇතුළුවීමට මාධ්‍යවේදීන් උත්සාහ කළ ද අවස්ථා කිහිපයකදීම ඔවුන් බාධා එල්ලවිය. පසුව එම ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් මහත්මිය පැමිණියා ය. මාධ්‍ය හරහා මෙය අනාවරණය කිරීම ගැටලුවක් ද සහ එසේ මාධ්‍ය හරහා අනාවරණය කිරීමේ ඇති ගැටලුව කුමක්දැයි එහිදී මාධ්‍යවේදීහු සහකාර අධ්‍යක්ෂවරියගෙන් විමසා සිටියහ. කෙසේ වෙතත් එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා නොදුන් නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. පසුව මාධ්‍යවේදීහු සිතුල්පව්ව විහාරාධිපති හිමියන් දුරකතනයෙන් අමතා මේ පිළිබඳව විමසා සිටියහ. මාධ්‍යවේදියා : හාමුදුරුවනේ පොලිසියේ ඩී.අයි.ජී මහ්තතයාත් මෙතයින් ගියා එයා කිව්වා වනජීවී එකෙන් අහලා අපිට ඇතුළට එන්න කියලා නමුත් මෙතන ආමි පෝස්ට් එකෙන් අපිට ඉඩ දෙන්නේ නැත්තේ? සිතුල්පව්ව විහාරාධිපති හිමියන් : නෑ.. ඇත්ත ආමි එකටත් එහෙම කියලා තියනවා නේ එන්න එපා කියලා. මාධ්‍යවේදියා : ආමි එකෙන් කියන්නේ ඔබ වහන්සේ එන්න දෙන්න එපා කිව්වා කියලා එතකොට හාමුදුරුවනේ... ? සිතුල්පව්ව විහාරාධිපති හිමියන් : මම නෙමෙයි පොලිසිය නේ කියන්නේ. මම මොකක්ද ? මාධ්‍යවේදියා : මෙතන ඉන්නවා ආමි එකේ කර්නල් කෙනෙකුත් අපිට කිව්වෙත් එහෙමයි. සිතුල්පව්ව විහාරාධිපති හිමියන් :- වනජීවී එකෙන් එන්න එපා කිව්වානම් , පොලිසියෙන් එන්න එපා කිව්වානම් මාධ්‍යවේදියා : නැහැ වනජීවී එකෙන් එන්න කිව්වා හාමුදුරුවනේ. අපි පොත්වල නම් ලියලා තියන්නේ. අප වාර්තාකරු පැවසුවේ පැය දෙකක පමණ කාලයකින් අනතුරුව සිතුල්පව්ව විහාරාධිපති හිමියන් එම ස්ථානයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දුරකතනයෙන් දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් කුඩා සිතුල්පව්ව දාගැබ ආසන්නට යාමට මාධ්‍යවේදීන්ට අවසර හිමි නොවී ය. පසුව එම ස්ථානයට පුරා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පිරිසක් පැමිණ පරීක්ෂාවට ලක් කර තිබේ. පරීක්ෂා කිරීම්වලින් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවුසවේ, මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ගත හැකි උපරිම ක්‍රිියාමාර්ග ගන්නා බවයි.
''අද අපි මේ ස්ථානය පරීක්ෂා කළා. ඉතාම සූක්ෂම විදිහට මේ වැඩේ කරලා තියනවා. ඔවුන් එම පැහැරගැනීම කරලා එම ස්ථානයේ සිදුරත් වසා දමා පැන යාමට තමයි උත්සහ කරලා තියන්නේ. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන්න අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා''
මෙහිදී එහි කෙතරම් නිදන්වස්තු තිබුණේ ද යන්න පිළිබඳව මීට පෙර වාර්තා වී තිබුණේ දැයි මාධ්‍යවේදිහු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ ය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''අපි ඒ ගැන කතා කරන්නත් කැමති නැහැ. අපි දන්නවා නිධන්වස්තු තියනවා ඒක හංගන්න දෙයක් නෙමෙයි.මහජනතාව දන්නවා ස්ථූපයක නිධන් වස්තු තැම්පත් කරනවා. ඉතින් අපි අධිකරණයෙන් ලබාදෙන නියෝගය බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ අනුව අපි මේ විවරය වසා දැමීමට හෝ විවරය නැවත බලලා මොකක්ද කරන්නේ කියන තීරණය ලබා දෙනවා ඒ නියෝගය අනූව''
මෙම නිදන් හැරීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය. ඒ සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය සමග පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. පොලිසිය සඳහන් කළේ , ඊයේ රාත්‍රියේ දී දැගැබ හෑරීම සිදුව  ඇති බවයි. දාගැබ හාරනු දැක සිතුල්පව්ව පුදබිමේ ආරක්ෂාවට සිටින යුද හමුදා සමාජිකයින් ඒ පිළිබඳව පොලීසියට දන්වා තිබේ. පසුව පොලීසිය සහ හමුදාව එක්ව එක් සැකකරුවෙකු අල්ලා ගෙන ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය. නිදන් හැරිමට පැමිණි අනෙක් පිරිස පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු දෙබරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, කුඩා සිතුල්පවිව් දාගැබේ ගර්භයේ අඩි එකහාමාරක් පමණ ඇතුළට හාරා ඇති බවයි. කාවන්තිස්ස රජ දවස ඉදිකළ සිතුල්පව්ව පුදබිමට අයත් එක් කඳු ගැටයක පිහිටි කුඩා සිතුල්පව්ච ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වන සුපතළ පුදබිමකි. මේ අතර ඵෙතිහාසික සිතුල්පව්ව පුදබිමේ පිහිටි කුඩා සිතුල්පව්ව දැගැබේ පුරාවස්තු මංකොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී විනිවිධ පෙනෙන පරීක්ෂණයක් පවත්වා චූදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පුරාවස්තු සුරක්ෂිත කිරීම වෙනුවෙන් පවත්නා නීති වඩාත් දැඩි කළ යුතු බවයි.