යාල ​භූ කම්පනයට සැබෑ හේතුව කුමක්ද?

යාල ​භූ කම්පනයට සැබෑ හේතුව කුමක්ද?

by Staff writer 25-08-2021 | 10:08 PM

COLOMBO (NEWS1ST)  යාල අභය භූමිය කලාපය ඊයේ (24) රාත්‍රීයේ ඇතිවූ සුළු භූ කම්පනයෙන් කිසිඳු හානියක් වාර්තාවී නැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තහවුරු කළේ ය.

දකුණු ප්‍රදේශයේ යාල කලාපයේ ආශ්‍රිතව රික්ටර් මාපක 2.5 කින් යුත් මෙම භූ කම්පනය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 9.15 ට පමණයි. ලුණූගම්වෙරෙ, බෙරලිහෙල , සීනීමුල්ල , ලුණුගම්වෙහෙර ජලාශය අවට ගම්මානවලට සහ ලුණුගම්වෙහෙර නගරය අවට ඇතුළු කුඩා ගම්මානවල ජීවත් වන ජනතාවට මෙම භූ කම්පන තත්ත්වය දැනී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ගම්වාසීන් පවසන්නේ විශාල ශබ්දයක් පමණ පොළොව දෙදරා යාමේ ස්භාවයක් විනාඩියක කාලයක් පුරාවට තමන්ට දැනුණු බවයි. මේ අතර ලුණුගම්වෙහෙර ජලාශය අවට ගම්මානවලට මෙම කම්පනය වඩාත් ප්‍රබලව දැනී තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ලුණුගම්වෙහෙර ජලාශ බැම්මට කිසිදු හානියක් සිදුව නොමැති බවට තිස්සමහාරාම වාරි මාර්ග ඉංජිනේරුවන් අද (25) උදෑසන සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මේ අතර ඊයේ දහවල් යාපනයට කිලෝමීටර් 600 ක් පමණ දුරින් බෙංගාල බොක්කේ මැග්නිටියුඩ් ඒකක 5.1 ක භූ චලනයක් සිදුවිය. මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කාර්යංශයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කළේ ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. මේ අතර ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5 ක භූ චලනයක් පසුගිය 16 වනදා සිදුවිය. ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් පමණ දුරින් සිදුව ඇති භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් ඇති නොවිණ. මේ අතර භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, යාල ප්‍ර දේශයෙන් ඊයේ රාත්‍රී වාර්තා වූ භූ කම්පනය කෘතිමව ඇති වෙච්ච තත්ත්වයක් නොවන බවයි. තව ද ඊයේ උදෑසන බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන තත්ත්වය හා ඊයේ රාත්‍රී යාල අංක 1 කලාපය ආශ්‍රිතව හටගත් භූ කම්පනය අතර සම්බන්ධයක් නොමැති බවයි.
''අපි වඩාත් සැලකිලිමත් වුනේ ඇත්තටම රට අභ්‍යන්තරයේ ඊයේ රාත්‍රියේ 9.20ට පමණ ඇති වෙච්ච සිදුවීමත් එක්ක. පසුගිය අවුරුද්දක් පුරාමත් අපි හඳුන ගත්ත ලංකාවේ භූ කම්පන තත්වයන් 15ක් පමණ සිද්ද වෙලා තියෙනව. ඇති වෙච්ච තත්වය විශේෂයක් වෙන්නෙ පහුගිය කාලේ පුරාවටම මේ ඇති වෙච්ච භූ කම්පන තත්වයන් ඇති වුනේ නුවර , හාරගම, අනුරගම, ආදී ප්‍රදේශ කේන්ද්‍ර කොට ගෙන. නමුත් මේ සිද්ධීය ඊට වඩා වෙනස්. මේ පිලිබඳව වැඩිදුරටත් කරුණු අධ්‍යනය කරල අපි තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මීට බොහෝම ඉහත අවුරුදු 2කට 3කට ඉහත මෙවැනි තත්වයක් ඇතිවෙලා තියෙන බව අපේ සංඛ්‍යාලේඛන වාර්තා වල දැක්වෙනවා එක්තරා අවස්ථාවක. මේක එහෙම කෘතිමව ඇති වෙච්ච තත්වයක් නෙමෙයි කියන එක තමයි දැනට අපේ භූ විද්‍යාඥයින්''
මේ අතර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වාර්තාවන භූ කම්පන් පිළිබඳව පළ කළේ මෙවැනි අදහසකි. ''මේ වගේ කම්පන ඇත්තෙන්ම ලංකාවට ආසන්නයෙ තියෙන ඒ වගේම ලංකාවත් අයිති ඉන්දියානු ඕස්ට්‍රේලියානු තලයේ නැගෙනහිර මායිමේ සිදුවන කම්පන තමයි බොහෝ විට අපිට මේ දැනෙන්නේ. මෙවැනි කම්පන සිද්ද වෙනකොට ඒ කම්පන සිදු වුන බව, සිදුවුණ වෙලාව , කොච්චර වෙලාවක් පැවතුනාද, මොනවද දැනුන දේවල්, මොනවද තමන්ට දැනුන විදිය, මේව සටහන් කරලා බලධාරීන් දැනුවත් කරා නම් අපිට ප්‍රයෝජනවත් වෙනව ඉදිරියේදී කම්පන පිළිබඳව , ලංකා භූමියේ සිදුවන කම්පන ගැන අධ්‍යනය කිරීමේදී මේ දත්ත ඉතාම වැදගත්. බිය විය යුතු නෑ. මොකද හේතුව ලොකු කම්පන ලංකාව ඇතුළත සිද්ද වෙන්න ඉඩක් නෑ. ඒ මොහොතේ ඒ වෙලාවට ආසන්න වෙලාවක ඉන්දියානු ඕස්ට්‍රේලියානු තලයේ නැගෙනහිර මායිමේ කම්පන කීපයක් සිද්ද වෙලා තියෙනවා. ඒ කම්පනවලින් එකක් තමයි මේ අපිට දැනිල තියෙන්නේ කියන එක තමයි මගේ අදහස.''