අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්..

විනිසුරුවරුන් සඳහා පැවති සම්මන්ත්‍රණය විනිසුරුවරුන් දැනුවත් කිරීමේ අරමුණෙන් පැවති එකක් - අධිකරණ සේවා කොමිෂන් සභාව

by Staff writer 23-08-2021 | 10:19 PM

COLOMBO (News 1st) - පසුගියදා විනිසුරුවරුන් සඳහා පැවති සම්මන්ත්‍රණය, කාලීනව වැදගත්වන කරුණු සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැනුවත් කිරීමේ අරමුණෙන් පැවති එකක් බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව නිවේදයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නය පදනම් කරගනිමින් විවිධ පාර්ශ්වය කරන විමසීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවය. අදාළ සම්මන්ත්‍රණය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වූවක් නොවන බව එම කොමිසම නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි. එහි සඳහන් වන්නේ, එය ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය විසින් එහි බලතල හා කාර්‍යයන් අනුව පවත්වනු ලැබූවක් බවය. විවිධ අවස්ථාවන්වලදී කාලීනව වැදගත්වන කරුණු සම්බන්ධයෙන් විනිසුරුවරුන් සඳහා මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වීම සිදු කරන බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි. ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ අධිකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම, නිරෝධායන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහජන පීඩා පිළිබඳව නෛතික තත්ත්වය විශ්ලේෂණය ආදී වැදගත් විෂයයන් සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත් වූ බවය. අදාළ සම්මන්ත්‍රණයට විනිසුරුවරුන් කැඳවීම සඳහා යොදාගනු ලැබූ ලිපියට අදාළ ආකෘතිය මීට වසර 10කට පෙර සිටම මෙම සම්මන්ත්‍රණ සඳහා කැඳවීමට භාවිතා කරන ලද බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව අවධාරණය කරයි. විනිශ්චකාරවරුන්ගේ ආයතනය විනිශ්චයකාරවරුන් සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු සංවිධානය කරනු ලබන්නේ, මහජන මුදල් වැය කිරීමෙන් බවත් එවැනි තත්ත්වයක දී විනිසුරුවරුන්ගේ පැමිණීම දුර්වල වුවහොත් මහජන මුදල් වැය කිරීමෙන් බලාපොරොත්තු අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වන බවත් වැඩමුළු පැවැත්වීමේ දී විනිශ්චකාරවරුන්ගේ සහභාගිත්වය සනාථ කර ගැනීම සඳහා එකී ආකෘතිය යොදා ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.