මහනුවර දළදා මංගල්‍යය සාර්ථකව අවසන්..

කුමන අභියෝග බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් තියෙනවා - ජනපති

by Staff writer 23-08-2021 | 9:39 PM

COLOMBO (News 1st) - රට හමුවේ කුමන අභියෝග බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කෙළ්, ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යය සාර්ථකව පවත්වා සමාප්ත කළ බව සැල කිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (23) පස්වරුවේ පැවැති උත්සවයේදීය. දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, පෞරාණික චාරිතානූකූලව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහැර සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය. එහිදී ජනාධිපතිතුමන් සඳහන් කෙළ්, රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බවත් එහි පළමු තැන දළදා සමිදුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයින් විශ්වාස කර ඇති බවත් ජනාධිපතිතුමා එහීදී පෙන්වා දී තිබේ. අනතුරුව ජනාධිපතිතුමා පෙරහැර ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන් 'භන්දා' හස්තියාට පළතුරුවලින් සංග්‍රහ කිරීම සිදු කළ අතර දියවඩන නිලමේ නීලංග දෑල මහතා ඇතුළු බස්නායක නිලමේවරු සහ පෙරහරට සෘජුව දායකත්වය ලබාදුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ජායා රූපයකට පෙනී සිටියහ. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ(22) පස්වරු 6.44 ට යෙදුණු සුබ මොහොතින් විථි සංචාරය ආරම්භ කෙළ් ය. අවසන් රන්දෝලි පෙරහැරේ පෙරහැර කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්තියායි. දළදා මාළිගාවේ ඇත් පත්තියේ ඉන්දි රාජා සහ කතරගම දේවාලයේ වාසනා හස්තියා පෙරහැරේ දෑල ඇතුන් ලෙස ගමන් කළ අතර මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වුෙණ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනූකූලව ජනතා සහභාගීත්වයෙන් තොරවයි. දළදා මාළිගාවෙන් ආරම්භ වූ පෙරහැර දළදා වීදීය, යටිනුවර වීදීය, කන්ද විදීය, ඩී.එස්. සේනානායක විදීය ඔස්සේ පැමිණ රජ විදියෙන් ඉහළට විත් මාළිගාවට යළි ගෙවදී අවසන් විය. ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය ද මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට පෙරහැර නැරඹීමට එක්ව සිටියහ. මේ අතර අද(23) අලුයම සිව් මහා දේවාල දිය කැපීමේ මංගල්‍යය සිදු කෙළ් මහවැලි ගගේ ගැටඹේ තොටේදීය. ඉන් අනතුරුව අද පස්වරු 1.42 ට ගෙඩිගේ විහාරයෙන් ගමන් ආරම්භ කළ දහවල් පෙරහැර ඩී.එස්. සේනානායක විදීය, පන්සල පාර, දේව විදීය, රජ විදීය ඔස්සේ ගමන් කර දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිනා කොට මාළිගාවේ පෙරහැර මාළිගයටත්, සිව් මහා දේවාල අදාළ දේවාලවලටත් ගෙවදීම සිදු විය.