by Staff writer 21-08-2021 | 10:53 PM
COLOMBO (News 1st) - වසර දෙකකට ආසන්න කාලයක් ඇසට නොපෙනන සතුරෙකුට එරෙහිව සටන් වදිමින් සිටින සුව විරුවන් කිහිපදෙනෙක් දැනටමත් රටට අහිමි වී අවසන් ය.
එහෙත් තවමත් ඔවුන් නොනිමි අරගලයක නිරතවෙමින් සිටි.
මේ, අප වෙනුවෙන් ජීවිත පූජා කළ ඔවුන් වෙනුවෙන් තබන හෘදයාංගම සටහනකි.
වෛද්‍ය ගයාන් දන්තනාරායන... එසේ නොමැති නම් ‘රත්නරන් දොස්තර’...
කොරෝනා ආසාදිතව මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා වන්නේ ඔහුයි.
අසීමීත මිනිසත්කමකින් පිරුණු, සොදුරු වෙදදුරෙකු වූ ගයාන් මිය යනතෙක් රාගම මහ රෝහලේ ශල්‍ය ඒකකයේ සේවය කළ අතර ඊට පෙර අම්පාර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සේවය කළේ ය.
ඔහු වඩාත් ප්‍රකට වූයේ, ළදරුවන් රැසකගේ ජීවිතය බේරාගත් රත්තරන් දොස්තර ලෙසය.
රාගම මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පළමුව මුල්ලේරියාව රෝහලේත් පසුව ගාල්ල කරාපිටිය රෝහලේත් ප්‍රතිකාර ලැබුවේ ය.
තිස් දෙහැවිරිදි වියේ පසු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතයට සමුදුන්නේ පසුගිය පෙබරවාරී මස දෙවැනිදායි.
වැඩ මුරයකට සීමා නොවී මිනිස් ජීවිත මුර කරමින් තම දරු පවුල්වලින් දුරස්ව නොනිදමින් තවෙකුගේ දිවි රකිමින් සුව විරුවනි ඔබට ජාතියේ උත්තමාචාරය..