රනිල්ගේ ප්‍රකාශයට යුද හමුදාපතිගෙන් පිළිතුරු

කොවිඩ් මර්දන තීරණ ගන්නේ සාමූහිකවයි - රනිල්ගේ ප්‍රකාශයට යුද හමුදාපතිගෙන් පිළිතුරු

by Staff writer 09-08-2021 | 10:04 PM

COLOMBO (News 1st) - වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය අදහස් පළ කළේය.

ඒ, ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් යුද හමුදාව විසින් සකස් කළ කොප්පරා කිලෝග්‍රෑම් දස දහසක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
රටේ ජනතාව ඉතාම පරිස්සම් වියයුතුව තිබෙනවා. ජනතාවගෙන් විශාල වගකීමක් ඉෂ්ට සිද්ධ විය යුතුව තිබෙනවා. සෑම දෙයක්ම නීති රෙගුලාසි පනවමින් ක්‍රියාකරන්න බැහැ. රටට සුදුසුම දේ තමයි කරගෙන යන්නේ. පළාත් අතර සංචරණය රාජකාරිවලට පමණයි. එය අවභාවිත කරන්න එපා. හැකි ඉක්කමින් තමන්ගේ එන්නත ලබාගන්න.
ප්‍රශ්නය,
යුද හමුදාපතිතුමනි ඊයේ රාත්‍රියේ හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැඩි චෝදනාවක් කරා ඔබතුමා ප්‍රධානත්වය දරන කොවිඩ් මර්දන කාර්ය සාධන ජනාධිපති බලකායට. ඔහු සඳහන් කරා මේක නීති විරෝධි බලකායක්. මේ වනවිට සිදු ව ඇති මරණ සම්බන්ධයෙන් මේ බලකාය වගකියන්න ඕනේ. මේක වහාම විසුරුවන්න ඕනේ කියලා දැඩි චෝදනා එල්ල කරා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ?
පිළිතුර, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරන එන්නත්කරණය පිළිබඳ විශාල ප්‍රසාදයක් තියෙනවා. එවන් විශාල ප්‍රසාදයක් පළ කර සිටින අවස්ථාවක එක් පුද්ගලයෙක් පමණක් එය විවේචනයට ලක් කිරීම පිළිබඳ ඔබතුමා මගෙන් අහපු නිසා ත්‍රිවිද හමුදාවේ ප්‍රධානියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් යුද හමුදාපතිවරයා වශයෙන් මගේ යුතුතමක් හා වගකීමක් තියෙනවා ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. ඒ අනුව මුළු රටේම ආදරණිය ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍ර සමග රණවිරුවන්, යුද හමුදා සෞඛ්‍ය ක්ෂේත්‍රය කරනු ලබන එන්නත්කරණය විවේචනයට ලක් කරද්දි රටේ ජනතාව දැන ගත යුතුකාරණය තමයි එතුමා එතුමාගේ එන්නත යුද හමුදාවේ මුලික රෝහල නාරාහේන්පිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් තමයි එන්නත එතුමා ලබා ගත්තේ. එතුමාට යුද හමුදාවෙන් එන්නත ලබා ගන්න අවශ්‍ය වුණා නම් රටේ ජනතාවට එන්නත් කිරීම වැරදි කියනවා නම් ජනතාව ඒ පිළිබඳව තීරණයක් ගන්න ඕනේ. කාර්ය සාධක බලකායේ ප්‍රධානියා අතිගරු ජනාධිපතිතුමා. මේ කාර්ය සාධක බලකායේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉන්න අමත්‍යවරියන් දෙදෙනා සහ අමාත්‍යතුමා මේ කාර්ය සාධක බලකායේ ඉන්නව. ඊට අමතර කැබිනට් මන්ත්‍රීවරු කිහිපපොලක්ම මේ කාර්ය සාධක බලකායේ ඉන්නව. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ත්‍රිවිද හමුදාපතිවරු පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක්ම මේ කාර්ය සාධක බලකා‍යේ ඉන්නවා. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමාව තනියමවත් නැත්නම් ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සිටින අපිවත් තනියෙන් ගන්න තිරණ නෙවෙයි. ඒ නිසා මෙවැනි කාරණ සම්බන්ධයෙන් විවිධ විවේචන ඇති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව සියලු දෙනා එකතු වෙලා තමයි මේ තීරණ ගනු ලබන්නේ.