ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 03ක ජයක්..

ශ්‍රී ලංකාව වසර 09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එක්දින ජයක් වාර්තා කරයි..

by Chathuranga Rajapaksha 24-07-2021 | 1:37 AM

COLOMBO (News 1st): ඉන්දියාව සමග පැවති 03වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. තරගාවලියේ පළමු තරග 02ම ඉන්දියාව ජයගෙන තිබීම හේතුවෙන් තරග 2ට 1ක් ලෙස එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවිය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉන්දීය පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 28කි. පන්දුවාර 23කදී ඉන්දීය ඉනිමේ කඩුලු 3ක් ලකුණු 147ක බිඳ වැටී තිබුණු අවස්ථාවේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ අනුව, ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව එක් කණ්ඩායමකට පන්දුවාර 47කට තරගය සීමා විය. ඒ අනුව ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 43යි පන්දු 1ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 225ක් පමණි. පන්දු යැවීමේදී අකිල ධනංජය හා ප්‍රවීන් ජයවික්‍රම අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. දුෂ්මන්ත චීමර කඩුලු 02ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 35කි. ඉන් පසුව භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. භානුක රාජපක්ෂ සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබා ගත්තේය. ඔහු පන්දු 56කදී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. ඊට හතරේ පහර 12ක් ඇතුළත් විය. අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 5වන එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ලබා ගත්තේය. අවිශ්ක ලකුණු 76ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහර ඇතුළත් විය. චරිත් අසලංක ලකුණු 24ක් ලබා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. රාහුල් චාහර් කඩුලු 3ක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිවිය. ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් එක්දින තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.