by Staff writer 14-07-2021 | 7:56 PM
COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු වූ හානියට ලැබෙන වන්දියෙන් ඩොලර් මිලියන 02ක් ධීවරයින්ට වන්දි ගෙවීම සඳහා වෙන් කරන බව සමුද්‍රීය පරිසර අධිකාරිය අද ප්‍රකාශ කර තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ය.
නෞකාව නිසා සිදුවූ හානිය වෙනුවෙන් අයැදුම් කර ඇති සමස්ත වන්දි මුදල ඩොලර් මිලියන 40කි.
අයැදුම් කළ වන්දි මුදලින් ඩොලර් මිලියන 3.6ක් මේ වනවිටත් ලැබී ඇති බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් අග්‍රාමාත්‍යතුමාට පවසා තිබේ.
ඉතිරි මුදල් සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මේ වනවිට සිදු වෙමින් ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
මේ සාකච්ඡාව පැවැත්වුණේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනවල ප්‍රගතිය සමාලෝචනයටයි.
ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කිරීම පිණිස එකවර නගර සීයකට නාගරික පහසුකම් ලබා දීම ජූලි මස අග දී ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ විය.
නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස හැටදහසක් ඉදි කරමින් සිටී.
පෞද්ගලික ආයෝජකයින් සමග තවත් නිවාස 12,000ක් ඉදිකිරීමට යෝජිතය.
මීට අමතරව දිස්ත්‍රික්ක 25ක් සඳහා අලුතින් ඇවිදින මංතීරු 28ක් නිර්මාණය කරන බවත් අද සාකච්ඡාවේදී ප්‍රකාශ විය.