COLOMBO (News 1st) - කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධාතාවේදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 16 දෙනෙකු මේ වනවිට මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තිබේ.
එම පිරිස අද(11) නිරෝධායන මධ්‍යස්ථානය තුළ සිට අදාළ පනතට එරෙහිව නැවතත් විරෝධතාවක නිරත විය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තු වටරවුම අසළදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ, නිරෝධායන රෙගුලාසි කඩ කළ බව පවසමිනි.
මුලිතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව අදහස් පළ කළේ ය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,
අපි දැක්කා ශ්‍රී ලංකා නීතිඥ සංගමය බරපතල පැහැදිලි කිරීමක් කරලා තිබුණා. එහෙනම් දැන් අපිව තියන් ඉන්නේ ඇයි. මේක සම්පූර්ණයෙන් වැරද්දක් .ඒ නිසා අපි කියනවා වහාම අපිව නිදහස් කරන්න කියලා
මේ අතර පසුගිය 07වැනිදා අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත මුදා හැර මේ වනවිට පල්ලේකැලේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින දුමින්ද නාගමුව මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කළේ ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා,
දැන් මේ පැහැර ගැනීමට දවස් 04 ක් වෙනවා. අද උදෑසන අපිට පී.සි.ආර්. පරීක්ෂණ සියල්ල දුන්නා .එම වාර්තාවල අපි 06 දෙනාගේම කොවිඩ් නෙගෙටිව් කියලා තියෙනවා. ඒකට අනුව දැන් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව සෞඛ්‍ය හේතුවක් කියලා අපිව තියාගන්න උත්සාහ කරනවා නම් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව මේ විදිහට තියාගෙන ඉන්න. මේක පැහැදිලිව ආණ්ඩුව ගෙනයමින් ඉන්න ජනතා විරෝධි වැඩපිළිවෙළට ජනතාව පෙළ ගැසෙන එක නතර කිරීමක්.